චීනය රිදවන තීරණයක් ජපානයෙන්
සයුරෙන් එතෙර

චීනය රිදවන තීරණයක් ජපානයෙන්

February 25, 2026   11:25 pm

තායිවානය අසල පිහිටි දූපතක් වන යොනාගුනි දූපතේ 2031 වසරේ මාර්තු වනවිට මිසයිල පද්ධතියක් ස්ථාපිත කරන බව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අද (25) තහවුරු කර තිබේ.

තායිවානයට කි.මී. 110ක් පමණ බටහිර දෙසින් පිහිටි මෙම දූපතේ මිසයිල යෙදවීමට කටයුතු කරන බවට ජපානය 2022 වසරේ දී නිවේදනය කිරීමෙන් පසු, ඊට කාල සීමාවක් ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.

ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවන මෙම මිසයිල පද්ධතියට කිලෝමීටර 50ක දුරක්, අංශක 360ක පරාසයක් පුරා එකවර ගුවන් ඉලක්ක 100ක් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇති බව සඳහන්ය.

ජපානයේ නිෂ්පාදිත මිසයිල පද්ධතියක් වන මෙයට එකවර ඉලක්ක 12කට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක්ද ඇත.

චීනයෙන් වෙන්ව තිබෙන දූපතක් වන තායිවානය ස්වයං පාලනයක් යටතේ ක්‍රියාත්මක රටක් වුවත්, ඊට අයිවාසිකම් කීම සඳහා චීනය මේ වනවිට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටී.

මේ හේතුවෙන් චීනය හා ජපානය අතරද මේ වනවිට දැඩි අර්බුදයක් ඇතිව තිබේ.

තායිවානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් ජපානය සිය ආත්මාරක්ෂක බළකාය සක්‍රීය කරන බවටත් ජපාන අගමැතිනි සානේ ටකයිචි නොවැම්බර් මාසයේ පවසා තිබුණි.

කෙසේ නමුත් එම ප්‍රකාශයත් සමග ජපානය හා චීනය අතර රාජතාන්ත්‍රික නොසන්සුන්තාවක් ඇතිවිය.

මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට ජපානය ගත් මෙම තීරණයට චීනය මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති වුවත්, නොවැම්බර් මාසයේ ඔවුන් පවසා සිටියේ, ජපානය 'කලාපීය ආතතියක් සහ මිලිටරි ගැටුමක් ඇති කිරීමට' පියවර ගනිමින් සිටින බවය.

අමෙරිකාවට මිත්‍ර රටක් ලෙස සලකන තායිවානයට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් අමෙරිකාව සහ චීනය අතර සෘජු මිලිටරි ගැටුමකට තුඩු දිය හැකි බවත්, ජපානය වැනි කලාපයේ අනෙකුත් අමෙරිකානු මිත්‍ර රටවල් ඊට එක්විය හැකි බවත් බොහෝ කලක සිට පවතින අනාවැකියක්ය.