බංග්ලාදේශයේ නව අගමැතිට ඉන්දියාවෙන් ආරාධනාවක්
සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ නව අගමැතිට ඉන්දියාවෙන් ආරාධනාවක්

February 18, 2026   04:44 pm

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ තාරික් රහ්මාන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබේ.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ආරාධනයෙන් විදෙස් රටවල නියෝජිතයින් නව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ අවස්ථාවට එක්වී තිබුණි.

ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික රාජ්‍ය උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ආරාධනා කර තිබුණි.

නමුත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරමින් එම අවස්ථාවට එක්වී තිබුණේ  කථානායකවරයාය.

එහිදී බංග්ලාදේශයේ නව නායකයා හමුවූ ඉන්දීය කථානායකවරයා, අග්‍රාමාත්‍ය මෝදි විසින් යොමු කළ ලිපියක් ද පිරිනමා ඇත.

එම ලිපියෙන් අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ, ඉකුත්දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජයග්‍රහණය සහ බංග්ලාදේශයේ ඊළඟ අගමැති ලෙස තාරික් රහ්මාන් පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බවය.

එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ගැඹුරු මිත්‍රත්වය යළිත් තහවුරු කරමින්, රහ්මාන්ගේ නායකත්වය රටේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය කරා මෙහෙයවනු ඇති බවත්ය.

මීට අමතරව සිය බිරිඳ සහ දියණිය සමග ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද අග්‍රාමාත්‍ය මෝදි බංග්ලාදේශයේ නව නායකයාට ආරාධනා කර තිබේ.