හසීනාගේ අවාමි ලීගයට දැමූ තහනම මැද පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණය
සයුරෙන් එතෙර

හසීනාගේ අවාමි ලීගයට දැමූ තහනම මැද පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණය

February 12, 2026   12:00 pm

ෂෙයික් හසීනා රජය පෙරළා දැමූ 2024 ශිෂ්‍ය අරගලයෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ මැතිවරණයට බංග්ලාදේශය අද (12) මුහුණදෙමින් සිටී.

මෙවර මැතිවරණ සටනේ පෙරමුණේ පසුවන්නේ අවස්ථා කිහිපයකදී රට පාලනය කර ඇති බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ද සහාය හිමි ජමාත් ඊ ඉස්ලාම් නම් ඉස්ලාම් පක්ෂයයි.

අපකීර්තියට පත් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණයට ඉදිරිපත්වීම තහනම් කර තිබීමද විශේෂත්වයකි.

මහ මැතිවරණයට සමගාමීව පවතින ව්‍යවස්ථාව වෙනස්කළ යුතුද ? නැද්ද ? යන්න විමසීම සඳහා වන ජනමත විචාරණයක් ද පැවැත්වෙයි.

සාමකාමී ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කිරීමට හසීනා රජය ගත් පියවර හේතුවෙන් එහිදී විරෝධතාකරුවන් 1400 දෙනෙක් පමණ මරුමුවට පත්වුණි.

ජනතාව වඩාත් ප්‍රචණ්ඩකාරී විරෝධතාවල නිරතවෙමින් රජය පෙරළා දැමුවේ ඉන් අනතුරුවය.

එතැන් සිට රට පාලනය වූයේ අන්තර්වාර අගමැති නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඩ් යුනුස් යටතේය.

විරෝධතා හමුවේ පලාගිය හිටපු අගමැතිනී ෂෙයික් හසීනා මේ වනවිට ඉන්දියාවේ රැකවරණය ලබන අතර, විරෝධතා දැඩිව මර්ධනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සිදුකිරීමේ වරදට බංග්ලාදේශය තුළ ඇයට මරණ දඬුවම ද පනවා තිබේ.