ICCයෙන් ලැබුණු ආරාධනාව ගැන ස්කොට්ලන්තය ප්‍රතිචාර දක්වයි 

ICCයෙන් ලැබුණු ආරාධනාව ගැන ස්කොට්ලන්තය ප්‍රතිචාර දක්වයි 

January 25, 2026   11:14 am

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ ආරාධනයට ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබේ. 

නිවේදනයක් නිකුත් කරමින්, එම කණ්ඩායමේ සභාපති විල්ෆ් වොල්ෂ් සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරය කිරීමට කැමැත්තෙන් සහ සූදානමින් පසු වන බවය. 

තරගාවලියේ සහභාගීත්වය තහවුරු කරමින්  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බව ද ඔහු පැවසීය. 

සිය කණ්ඩායම වෙනුවෙන් එය පිළිගැනීම සම්බන්ධයෙන් තමන්  සතුටු වන බවත් මේ අවස්ථාව ලබාදීම පිළිබඳව ක්‍රිකට් කවුන්සිලයට ස්තූතිවන්ත බව ද විල්ෆ් වොල්ෂ් ප්‍රකාශ කළේය. 

ඉදිරි සතිවලදී ඉන්දියාවේ ලෝකයේ හොඳම කණ්ඩායම් කිහිපයක් සමඟ තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු කීය. 

ආරක්ෂක හේතූ මත ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරමින් බංග්ලාදේශ කණ්ඩායම ඔවුන් සහභාගී වන තරග වෙනත් ස්ථානයක් පවත්න ලෙසට ඉල්ලා සිටියහ. 

ඊට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීමත්  සමඟ සිය කාණ්ඩය වෙනස් කර දෙන ලෙසට ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකිවීමත් සමඟ බංග්ලාදේශය මෙම තරගාවලියට සහභාගී නොවීමට තීරණය කරනු ලදී.

ඒ අනුව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව මෙම තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ස්කොට්ලන්තයට හිමි විය. 

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන පෙබරවාරි මස ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.