වසර 15කට පසු එංගලන්තයට ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් ජයක්
December 27, 2025 02:35 pm
'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙල්බර්න්හිදී අද (27) අවසන් වූ 4වන තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
දෙදිනක් තුළ අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 152කට දැවීගිය අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්ත පළමු ඉනිමද ලකුණු 110කට සීමාවිය.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 132ක සීමාවූ අතර, ඒ හේතුවෙන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කයක් හිමිවිය.
එම ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී පසුකර යෑමට එංගලන්ත පිතිකරුවන්ට හැකිවිය.
මෙය එංගලන්ත කණ්ඩායමක් ඔස්ට්රේලිායවේදී වසර 15කට පසු ලැබූ පළමු ටෙස්ට් තරග ලෙස වාර්තා අතරට එක්විය.
එම කාලය තුළ ඔවුන් ඔස්ට්‍රේලියාව හමුවේ තරග 16ක්ම පරාජය වී තිබූ අතර, තරග 2ක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන්කරගෙන තිබුණි.
තරග 5කින් යුත් අළු බඳුන තරගාවලිය තරග 3-1ක් ලෙස ඔස්ට්‍රේලියාව මේ වනවිට වේලාසනම තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටියි.
