සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ බදු ගැන ඉන්දියාවේ ස්ථාවරය කියයි
August 2, 2025 06:28 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ සියයට 25ක ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපදයේ ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 25ක තීරුබදු පැනවීම රජය විසින් විශ්ලේෂණය කරමින් සිටින බවය.
එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරන ලද අන්‍යෝන්‍ය බදු පිළිබඳව ලෝක් සභාවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඉන්දියාව සියලු පියවර ගන්නා බවය.
එමෙන්ම ගොවීන්, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කර්මාන්ත ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.
පසුගිය මාස කිහිපය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය සාකච්ඡාවල නිරත වූ බවද ඔහු පවසා තිබේ.
ඉන්දියාව මේ වන විට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වී ඇති බවත් වසර කිහිපයක් ඇතුළත ඉන්දියාව ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වන බවත් ඉන්දියාවේ ස්ථාවරය වී තිබේ.
ඉන්දියාව මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක් සමගම ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අවසන් කර ඇත.