බංග්ලාදේශයට ලකුණු 83ක ජයක්

බංග්ලාදේශයට ලකුණු 83ක ජයක්

July 13, 2025   10:08 pm

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරග‍යෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි. 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 32ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 20ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 08කට දැවී ගිය අතර නායක චරිත් අසලංක ලකුණු 05කට සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් කඩුලු 3ක් දවා ගත් අතර ෂොරිෆුල් ඉස්ලාම් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 2 බැගින් ද මුස්තාෆිසුර් රහ්මන් සහ මෙහිදි හසන් මිරාස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

මෙම පරාජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය.

ඒ අනුව තරගාවලිය කණ්ඩායම් දෙකටම විවෘත විය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන 6වන විස්සයි20 තරගාවලිය මෙය වන අතර, 2012 වසරේ සිට මේ දක්වා දෙරට අතර පැවති කිසිදු තරගාවලියක් ශ්‍රී ලංකාව පරාජය වී නොමැත.