ට්‍රම්ප්ගේ අලුත්ම තීරුබදු ප්‍රතිශත නිවේදනය
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ අලුත්ම තීරුබදු ප්‍රතිශත නිවේදනය

July 8, 2025   07:40 pm

දින 90කට අත්හිටවූ අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මකවීමේ දිනය එළැඹෙන අගෝස්තු පළමුවනදා දක්වා කල්දැමූ පසුබිමක අමෙරිකාව රටවල් 14ක නව තීරුබදු ප්‍රතිශත ප්‍රකාශයට පත් කර තිබේ.

එහෙත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබුණේ නැත.

කෙසේවෙතත් මෙතෙක් සිදුකර ඇති සාකච්ඡා අනුව අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා අද (08) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

 අමෙරිකානු ජාතිය විමුක්තිය ලැබීමේ දිනය ලෙස පවසමින්, ලෝකයේ රටවල් සියයකින් පමණ සිදුකරන ආනයන මත අතිරේක බදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ පසුගිය අප්‍රේල් මස දෙවනදාය.

එහිදී රටවල් රැසකට 10%ක අතිරේක තීරුබදු පැනවූ අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 60කට වැඩි තීරුබදු පැනවූයේ ඒවා අන්‍යෝන්‍ය තීරුබදු ලෙස නම්කරමිනි.

කෙසේ නමුත් රටවල් රැසක් සිදුකළ ඉල්ලීම් සලකා බලා දින 90ක සහන කාලයක් ලබාදීමට අමෙරිකාව තීරණය කළ අතර එම සහන කාලය හෙටින් (09) අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් දින 90කට අත්හිටවූ අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මකවීමේ දිනය එළැඹෙන අගෝස්තු පළමුවනදා දක්වා කල්දමන බව අමෙරිකාව ඊයේ (07)  දැනුම් දුන්නේය.

ඒ අනුව ඒ ඒ රටවලට අදාළ තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි එම රටවල් වෙත යැවීම අමෙරිකාව මේ වනවිට ආරම්භ කර තිබේ.

ඊයේ දිනය තුළ රටවල් 14ක තිරුබදු ප්‍රතිශත ප්‍රකාශ කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ලිපි යවනු ලැබ තිබුණි.

මේ අනුව ලාඕසයට හා මියන්මාරයට 40% ක් , තායිල්නතයට හා කාම්බෝජයට 36% ක් , බංග්ලාදේශයට හා සර්බියාවට 35% ක් , ඉන්දුනිසියාවට 32% ක් , දකුණු අප්‍රිකාවට හා බොස්නියා හර්සගොවීනා වෙත 30% ක් වශයෙන් තීරුබදු පැනවේ.

මැලේසියාව , ටියුනීසියාව , ජපානය , දකුණු කොරියාව හා කසක්ස්තානයට 25% බැගින් සංශෝධිත තීරුබදු පනවා ඇත. 

මෙම රටවල් අතරින් තිරුබදු ප්‍රතිශත අඩු කර ඇත්තේ ලාඕසය , මියන්මාරය , කාම්භෝජය , බංග්ලාදේශය , සර්බියාව , බොස්නියා හර්සගොවීනා , ටියුනීසියාව හා කසක්ස්තානය යන රටවලටය.

අමෙරිකානු පරිපාලනයට අනුව මෙම බදු ලබන අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාවට නැංවේ.

මාධ්‍යවේදියා - අගෝස්තු පළමුවනදා කියන්නේ නිශ්චිතවම අවසාන දිනයද?

ඩොනල්ඩ් ට්‍රම්ප් - අමෙරිකානු ජනාධිපති

"එය නිශ්චිත කියලා කියන්න පුළුවන්. ඒත් සියයට 100ක්ම නොවේ. ඔවුන් කතා කරලා. වෙනසකට සූදානම් නම් අපි වෙනස් විදිහකට කටයුතු කිරීමට සූදානම්." 

මාධ්‍යවේදියා - මේ යොමුකරන තීරුබදු ලිපි ඔවුන්ට ලබාදෙන අවසන් යෝජනාවද? ඒවා යළි සලකා බලනවාද?

ඩොනල්ඩ් ට්‍රම්ප් - අමෙරිකානු ජනාධිපති

"බොහෝදුරට අවසන් යෝජනා. අපි දැනටමත් නව තීරුබදුවලින් අමෙරිකානු ඩොලර් බිලියන 100කට වඩා උපයලා තියෙනවා. අපි බ්‍රිතාන්‍ය සමඟ, චීනය සමඟ එකඟතා ඇතිකරගත්තා. ඉන්දියාව සමඟ එකඟතාවක් ඇතිකරගැනීමට ආසන්නයි. අපි හමුවූ අනෙක් රටවල් සමඟ අපි එකඟතාවකට පැමිණෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ට ලිපි යවනවා. ඔබ කැමති එහෙම කටයුතු කරන්න නම්, ඊට ගෙවිය යුතු වන්දිය එයයි."

මේ අතර නව තීරුබදු ප්‍රතිශත නිවේදනය කිරීමත් සමඟ ලොවපුරා කොටස් වෙළෙඳපොළ රැසක උච්ඡාවචන රැසක් වාර්තා වී තිබුණි.

එමෙන්ම ලෝක වෙළෙඳ සංවිධානය ද පවසන්නේ, මෙම තීන්දු මගින් ගෝලීය වෙළෙඳපොළේ දැඩි අස්ථාවරත්වයන් රැසක් මතුව ඇති බවය.