ශ්‍රී ලංකා රග්බි පිලට විදෙස් පුහුණුකරුවෙක්?
May 21, 2025 10:00 am
ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සූදානම්වන බව වාර්තා වෙයි.
අභ්‍යන්තර රග්බි ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළඹෙන ආසියානු රග්බි ශූරතා තරගාවලිය ඉලක්ක කර ගනිමින් විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සැලසුම් කරන බවය.
ආසියානු රග්බි ශූරතා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී සහ නවසීලන්ත 85kg බර පන්තිය සමග පැවති රග්බි තරග දෙකේදී සනත් මාර්ටිස් ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කළේය.
කෙසේ වෙතත් සනත් මාර්ටිස් පෞද්ගලික හේතුවක් මත පසුගිය සතියේ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.
එම පුරප්පාඩු වූ පුහුණුකරු ධුරයට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
මේ අතර ආසියානු රග්බි ශූරතා තරගාවලිය ඉලක්ක කරගනිමින් තුරඟ තරග පිටියේදී අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියට, සංචිතයේ ක්‍රීඩකයින් 59දෙනා අතරින් සහභාගි වී ඇත්තේ 26 දෙනෙක් පමණක් බවද වාර්තා වෙයි.
අභ්‍යන්තර රග්බි ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පුහුණු සැසිය පැවති අවස්ථාවේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් කිහිප දෙනෙක්ද එම ස්ථානයට පැමිණ ඇති බවය.
කෙසේ වෙතත් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට සිදුකරන ගෙවීම් සම්බන්ධව ඇති ගැටලුව සහ ඔවුන්ව ගිවිසුම්ගත කර නිසි ගෙවීමක් සිදුකළ යුතු බව අප වසර කීපයක් තිස්සේ පෙන්වා දුනි.
නමුත් ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ අද දෙරණ කළ අනාවරණය සම්බන්ධයෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා හෝ වෙනත් බලධාරියෙක් මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම කණගාටුවට කරුණකි.