සයුරෙන් එතෙර
ඉන්දීය රජයේ 'ඔපරේෂන් සින්දූර්' සඳහා විපක්ෂයේත් සහාය
May 8, 2025 05:56 pm
ඉන්දීය හමුදාව දියත් කළ 'සින්දූර් මෙහෙයුම' ඉන්දීය විපක්ෂයේ නායකයින්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.
සින්දූර් මෙහෙයුමෙන් පාකිස්තානයේ සහ පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු 9කට ප්‍රහාර එල්ලකර තිබුණි.
මෙම පියවර අගය කරමින් සහ ඉන්දීය හමුදාවට සහාය පළ කරමින් විපක්ෂය මෙලෙස අදහස් දක්වා තිබේ.
UBT නායිකා ප්‍රියංකා චතුර්වේදි X සටහනක් තබමින් පවසා ඇත්තේ "ඔවුන් ආගම ගැන ඇසුවා. දැන් ඔබේ කර්මය විඳගන්න. ඉන්දියානු හමුදාවට ජය වේවා.'' යනුවෙනි.
RJD නායක තේජස්වි යාදව් ද සින්දූර් මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවට ප්‍රශංසාව පළ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ "ත්රස්තවාදයක් හෝ බෙදුම්වාදයක් නොතිබිය යුතුයි! අපගේ නිර්භීත සොල්දාදුවන් සහ ඉන්දීය හමුදාව ගැන අපි ආඩම්බර වෙමු." යනුවෙනි.
මේ අතර උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් ද ඉන්දීය හමුදාවට ද ප්‍රශංසා කර ඇත.
එමෙන්ම ජාතික සමගිය සහ සහයෝගීතාව යුගයේ අවශ්‍යතාවය බව විපක්ෂ නායක මල්ලිකාර්ජුන් ඛාර්ගේ පවසයි.
කොංග්රස් පක්ෂයේ ප්රබලයෙකු වන රාහුල් ගාන්ධි පවසන්නේ ඉන්දීය හමුදාව පිළිබඳ තමන් ආඩම්බර වන බවය.