බංග්ලාදේශ ජාතිකයන් දහසක් ඉන්දියාවේදී අත්අඩංගුවට
සයුරෙන් එතෙර

බංග්ලාදේශ ජාතිකයන් දහසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

April 26, 2025   01:30 pm

ඉන්දීය ගුජරාට් පොලීසිය විසින් අද (26) පෙරවරුවේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එරට තුළ නීතිවිරෝධී ලෙස රැඳී සිටින බංග්ලාදේශ ජාතිකයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ අහ්මදාබාද්හිදී පුද්ගලයින් 890ක් ලෙසත්, සූරත්හිදී 134ක් ලෙසත් 1000කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.

මෙය ගුජරාට් පොලිසිය මෙතෙක් සිදු කළ විශාලතම මෙහෙයුම බව ඉන්දීය මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ මෙම බංග්ලාදේශ ජාතිකයින් ව්‍යාජ ලියකියවිලි භාවිතාකර බෙංගාලය හරහා ඇතුළු වී ඇති බවයි.

තවත් බංග්ලාදේශ ජාතිකයන් විවිධ ප්‍රාන්තවල රැඳී සිටි බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්වලට සම්බන්ධ වූවන් බවත් එම වාර්තාවන්හි දැක්වේ.

ඉන්දීය පොලීසිය පසුගිය වසරේ ද මෙවැනිම සෝදිසි මෙහෙයුමක් අහමදාබාද්හිදි ක්‍රියාත්මක කර නීතිවිරෝධී ලෙස ජීවත් වන බංග්ලාදේශ ජාතිකයින් 127 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු අල් කයිඩා සංවිධානය වෙනුවෙන් සේවය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

අද අලුයම 3ට පමණ අහමදාබාද් අපරාධ අංශය කලාප 6 සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.