ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 6ක ජයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 6ක ජයක්

April 19, 2025   07:40 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන "A" කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා "A" කණ්ඩායම ජයගැනීමට සමත්විය.

ඒ අයර්ලන්තය "A" කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමිනි. 

තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්තය "A" කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්තය "A" කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 192ක් රැස්කළේය.

පන්දු යැවීමේදී, ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක කඩුලු 4ක් ද, තරිඳු රත්නායක එක් කඩුල්ලක් ද, මිලාන් රත්නායක කඩුලු 2ක් ද, දුෂාන් හේමන්ත කඩුලු 3ක් ද දවා ගත්හ.

කඩුලු 4ක් දවා ගත් ඩිල්ෂාන් මධුශංක තරගයේ වීරයා ලෙස නම් කරන ලදී.

ලකුණු 193ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා "A" කණ්ඩායම පන්දුවාර 27යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු  193ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම වෙනුවෙන් නායක සධීර සමරවික්‍රම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් ජයග්‍රාහී පන්දුවෙන් හතරේ පහරක් එල්ල කළේය.

ලසිත් ක්‍රොස්පුල්ලේ ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී අයර්ලන්තය "A" කණ්ඩායම වෙනුවෙන් නායකයා ගැවින් හෝයි කඩුලු 03ක් දවාගත්තේය.