සයුරෙන් එතෙර
මාස 9කට පසුව පෘථිවියට ආ ගගනගාමීන්
March 19, 2025 10:10 pm
අනපේක්ෂිත ලෙස මාස 9ක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් රැගත් යානය අද (19) පෘථිවියට ළඟා විය.
දින 8ක චාරිකාවකට එක්වූ ගගනගාමීන් දෙපළට අභ්‍යවකාෂ මධ්‍යස්ථානයේ කොටුවීමට සිදුවූයේ ඔවුන් ඒ වෙත රැගෙන ගිය බෝයිං ස්ටාර්ලයිනර් යානයේ හටගත් දෝෂයක් හේතුවෙනි.
දින 8ක මෙහෙයුමක් සඳහා නාසා ගගනගාමී සනි විලියම්ස් සහ බුච් විල්මෝර් රැගෙන බෝයිං සමාගමේ ස්ටාර්ලයිනර් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවුණේ පසුගිය වසරේ ජූනි මාසයේ දී ය.
එම නව ස්ටාර්ලයිනර් යානය ද ඊට යොදාගැනුණේ පර්යේෂණ ගමනක් ලෙසිනි.
යානය සාර්ථකව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවුවත්, එහි ඇතිවූ හීලියම් වායු කාන්දුවක් නිසා යානයෙන් ගගනගාමීන් යළි රැගෙන ඒම සුදුසු නොවන බවට තීරණය කෙරුණි.
එම නිසා යානය පමණක් යළි පෘථිවිය කරා ළඟා වූ අතර එතැන් පටන් සනීට සහ බුච් ට සිදුවුණේ තමන් රැගෙන යාමට වෙනත් යානාවක් පැමිණෙන තුරු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වී බලා සිටීමටය.
ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම පිළිබඳ සුබ අපේක්ෂා මතුවූයේ වත්මන් අමෙරිකානු දේශපාලනයේ වෙනස්ම මාදිලියේ චරිතයක් වන ස්පේස් එක්ස් ප්‍රධානී ඊලෝන් මස්ක් එම අභියෝගය භාරගැනීමත් සමගිනි.
මේ අනුව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 9කට වැඩි කාලයක් රැඳී සිටි සනී සහ බුච් මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුම පසුගිය මාර්තු 15 වනදා ඇරඹුණි.
ඒ සඳහා පිටත්ව ගියේ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානයයි.
මාර්තු 16 වනදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව එම යානය ළඟාවූයේ එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් භාරගන්නා නව කාර්ය මඩුල්ල වන අමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙක්, ජපාන ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් ද සමගින්.
සනී, බුච් මෙන්ම තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් ද රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය පෘථිවිය බලා ගමන් ආරම්භ කළේ ඊයේ (18) පෙරවරුවේය.
ඩ්‍රැගන් කැප්සූලය මෙරට වේලාවෙන් අද (19) අලුයම අමෙරිකාවේ ෆ්ලොරිඩාවට ආසන්න අත්ලාන්තික් සාගරයට ගොඩබැස්වීම සිදුකෙරුණි.
පැය 17ක දිගු ගමනකින් පසු යානය ගොඩබැස්වූයේ අධිබලැති පැරිෂුට් යොදාගෙනය.
එම අවස්ථාවේදී යානය වටා ඩොල්ෆින් රංචුවක් ද සැරිසැරීමට පටන්ගත්තේ කාගෙත් අවධානය දිනාගනිමිනි.
ගගනගාමීන් පිරිස නාසා ගුවන් යානයකින්, හූස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත කඩිනමින් යොමු කෙරුණි.
ශුන්‍ය ගුරුත්වයක් යටතේ මාස 9ක් අභ්‍යවකාෂයේ රැඳී සිටි ඔවුන් දින කිහිපයක් වෛද්‍ය නිරීක්ෂණ යටතේ හිඳ පෘථිවි ගුරුත්වයට අනුගත වීමෙන් පසු සිය නිවෙස් බලා පිටත්වනු ඇති.