කැනඩාව සහ මෙක්සිකෝව දේශසීමා ආරක්ෂාව තර කරයි
සයුරෙන් එතෙර

කැනඩාව සහ මෙක්සිකෝව දේශසීමා ආරක්ෂාව තර කරයි

February 4, 2025   03:54 pm

රටවල් කිහිපයකට පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය මතභේදයට තුඩුදී තිබේ.

කෙසේවෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ඔහුගේ තීරුබදු සැලසුම්වලට විරුද්ධ වන ඕනෑම අයෙකු චීනය හෝ වෙනත් විදේශීය හෝ දේශීය සමාගම් විසින් පාලනය කරනු ලබන බවය. 

ට්‍රම්ප් විසින් අමෙරිකාවේ විශාලතම වෙළෙඳ සහයෝගීකරුවන් වන මෙක්සිකෝව සහ කැනඩාව මත 25%ක තීරුබදු සහ චීන භාණ්ඩ සඳහා අමතර 10% බද්දක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදු කර තිබුණි.

කැනඩාව සහ මෙක්සිකෝව සම්බන්ධයෙන් ට්‍රම්ප් පවසන්නේ, නීතිවිරෝධී සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ගැටළු විසඳීම සඳහා මෙම පියවර අවශ්‍ය බවය.

The Wall Street Journal හි කතෘවරයා විසින් ට්‍රම්ප්ගේ මෙම බදු පැනවීම ප්‍රසිද්ධියේ දැඩිව විවේචනය කර තිබුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණි.

කෙසේවෙතත්, බදු පැනවීම අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව පැවතියත් එය දින 30ක කාලයක් සඳහා අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ඒ මෙක්සිකානු සහ කැනේඩියානු නායකයින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඇතිකරගත් එකඟතාවකට අනුව ය.

එහිදී දේශසීමා ආරක්ෂාව තර කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනයට දැඩි ක්‍රියාමාර්ග අනුගමනයට කැනඩාව සහ මෙක්සිකෝව එකඟවී ඇත.

ඒ අනුව දේශසීමා වෙත යොමුකරන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව දහස් ගණනකින් ඉහළ දැමීමට ඔවුන් එකඟවී ඇතැයි සඳහන් ය.

කෙසේ වුවද අමෙරිකාව චීනය සමග කිසිදු එකඟතාවකට එළැඹ නොමැති අතර චීනය මත පැනවූ සියයට 10ක තීරුබදු අද සිට ක්‍රියාත්මකය.

ඒ අනුව අමෙරිකානු ආනයන මත සියයට 10ත් 15ත් අතර තීරු බදු පනවන බව චීනය පවසයි.