අමෙරිකාවේ තීරණය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය
සයුරෙන් එතෙර

අමෙරිකාවේ තීරණය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය

January 22, 2025   05:06 pm

අමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

කෙසේවෙතත් ඒ පිළිබඳව නැවත අමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව සඳහන් කර තිබේ.

හදිසි සෞඛ්‍ය අවස්ථා හඳුනාගැනීම, වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම අනෙක් අයට ළඟාවීමට නොහැකි ස්ථානවලට ගොස් රෝග සඳහා මුල්වන හේතුවලට විසඳුම් සෙවීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම තුළින් අමෙරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව, ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව බවද එම නිවේදනයේ සඳහන් වේ.

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකයකු බවත් දශක 07ක කාලය තුළදී අමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගෙන ඇති බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වන බවට අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.