හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රබල ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රබල ප්‍රහාරයක්

December 27, 2024   05:39 pm

ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා ඊයේ (26) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සානා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව හූති මාධ්‍ය කාර්යාලය පවසයි.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රියේසස් ද යේමනයේ සානා ගුවන්තොටුපොළේ සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හූති කැරලිකරුවන් විසින් රඳවාගෙන සිටි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් මුදාගැනීම මෙන්ම එහි මානුෂීය වාතාවරණය පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට යේමනයට ගොස් සිටි බව සඳහන් වේ.

යේමන සංචාරය නිමවා නික්මීමට ගුවන් යානයකට ගොඩවන විට ඊශ්‍රායල ප්‍රහාරය සානා ගුවන්තොටුපොළට එල්ල වී ඇත.

මේ හේතුවෙන් ඔහු ගමන්කිරීමට නියමිතව තිබූ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ද තුවාල ලබා තිබේ.

සානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක කුලුන සහ පිටවීමේ පර්යන්තයට මෙන්ම ගුවන් ගමන් ධාවන පථයට ද ඊශ්‍රායල ප්‍රහාරයෙන් හානි සිදු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාම සනාථ කර ඇත.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව සඳහන් විය.

යේමනයේ බහුතර ප්‍රදේශයක පාලන බලය අත්පත් කරගෙන සිටින හූති කැරලිකරුවන්ට එරෙහි මෙම ප්‍රහාරය ගැටුම් උත්සන්න කිරීමේ පියවරක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හඳුන්වයි.

සානා ගුවන්තොටුපලට අමතරව යේමනයේ බටහිර වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි හොඳෙයිදා, සාලිෆ් සහ රාස්-කාන්ටිබ් කියා වරාය තුනේ හමුදාමය යටිතල පහසුකම්වලට ද  ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කර තිබේ.

යේමන විදුලි බලාගාර දෙකක් ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව ඇත.

හූති පාලනය සහිත සාබා ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කළ ආකාරයට, ඊශ්‍රායල ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

කෙසේ නමුත් ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව අල්-මසීරා රූපවාහිනිය ඔස්සේ හූති සංවිධානය ද ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ පලස්තීනුවන්ට සහෝදරත්වය පළ කිරීමට යැයි පවසමින් යේමනයේ හූති කැරලිකරුවන් පසුගිය වසරක පමණ කාලය පුරාම ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම දක්නට ලැබුණි. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල රූපවාහිනී සේවාවක් ඔස්සේ පවසා සිටියේ, මෙය හූති කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුමක ආරම්භයක් පමණක් බවයි. 

ඊශ්‍රායල අගමැතිවරයා මේ වනවිට සතුරු  පාර්ශ්ව කිහිපයක් සැලකිය යුතු අන්දමින් මර්දනය කිරීම නිසා රට තුළ ශක්තිමත් තත්ත්වයක් ගොඩ නඟාගෙන ඇති බව නොරහසක්.

දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා ගරිල්ලා අඩපණ කිරීම සහ සිරියානු රජය සතුව තිබූ උපක්‍රමීය යුද අවි බොහොමයක් විනාශ කිරීම ඒ අතුරින් ප්‍රධානය.