ආසියානු යොවුන් ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට

ආසියානු යොවුන් ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට

December 8, 2024   05:34 pm

ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් පරාජය කර ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශය සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (8) ඩුබායිහිදී පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 198ක් පමණි.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව පන්දුවාර 32.2කදී ලකුණු 139කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම ජයත් සමග අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු යොවුන් ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට බංග්ලාදේශයට අවස්ථාව උදාවිය.

අවසන් වරට මෙම තරගාවලිය 2023 වසරේ දී පැවැත් වූ අතර, එවර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කර ශූරතාව දිනාගැනීමට සමත් විය.

කෙසේ නමුත් ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ප්‍රබලම කණ්ඩායම ඉන්දියාව වන අතර, ඔවුන් මෙම තරගාවලිය ආරම්භ වූ 1989 වසරේ සිට අවස්ථා 7කදීම ශූරයන් වී තිබේ.

බංග්ලාදේශයට අමතරව ඇෆ්ගනිස්තානය 2017 වසරේදී ආසියානු ශූරයන් ලෙස කිරුළු පැළඳීම හැරෙන්න වෙනත් කිසිදු රටකට මේ දක්වා එම අවස්ථාව උදා වී නොමැත.

ශ්‍රී ලංකාව 1989, 2003, 2016, 2018 හා 2021 වර්ෂයන්හි අවසන් මහා තරගය ක්‍රීඩා කළත් ඒ සෑම අවස්ථාවකම අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය.

පාකිස්තානය ද අවස්ථා 2කදී අනුශූරයන් වී තිබේ.

මෙවර තරගාවලියේදී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් ක්‍රීඩාකළ අතර, එහිදී බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

එය මෙම තරගාවලියේ බංග්ලාදේශය පරාජය වූ එකම තරගය විය.

කෙසේ නමුත් අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජය වූ අතර, බංග්ලාදේශය විසින් පාකිස්තානය පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.