ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක්

December 8, 2024   04:47 pm

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර Gqeberhaහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකානු දෙවනි ඉනිම ලකුණු 317කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 348ක ඉලක්කයක් හිමිවිය.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ පළමු කඩුලු පහ දවාගැනීමට ශ්‍රී ලංකාව ලකුණු 254ක් ලබාදුන්නද, දෙවන කඩුලු පහ දවාගැනීමට ඔවුන් ලබාදුන්නේ ලකුණු 63ක් පමණි.

මෙහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රබාත් ජයසූරිය ලකුණු 129කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

මෙය ප්‍රබාත් කඩුලු 5 බැගින් දවාගත් 10වැනි අවස්ථාව වේ.

එමෙන්ම ටෙස්ට් වරම් හිමිකරගැනීමෙන් පසු මව්බිමෙන් පිටතදී කඩුලු 5ක අවස්ථාවක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව ද විය.

2022 වසරේ ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රබාත් මේ වනවිට තරග 18ක ඉනිම් 34ක් ක්‍රීඩාකර කඩුලු 107ක් බිඳහෙලා සිටියි.

ප්‍රබාත්ට අමතරව විශ්ව ප්‍රනාන්දු ලකුණු 47කට කඩුලු 2ක් හා අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර එක් කඩුල්ල බැගින්ද දවාගත්හ.

දකුණු අප්‍රිකානු වෙනුවෙන් නායක ටෙම්බා බවුමා (66) හා ඒඩියන් මාක්‍රම් (55) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

අද (8) තරගයේ සිව්වැනි දිනය වන අතර, ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹායෑම සඳහා අද දිනයේ පන්දුවාර 50කට වැඩි සංඛ්‍යාවක් සමගින් ශ්‍රී ලංකාවට තවත් දිනයක් ඉතිරිව තිබේ.