වකාර් අභිබවා ගිය රබාඩාගේ සුපිරි පිම්ම

වකාර් අභිබවා ගිය රබාඩාගේ සුපිරි පිම්ම

October 21, 2024   09:22 pm

දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර මීර්පූර්හිදී අද (21) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකර යාමට කගීසෝ රබාඩා සමත් විය.

මෙහි පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 106ක් පමණි.

ඉන් කඩුලු 3කට දකුණු අප්‍රිකානු ආරම්භක වේගපන්දු යවන්නා වන කගීසෝ රබාඩා හිමිකම් කීය. ඒ සමග ඔහුට සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 300 සීමාව පසුකර යාමට හැකිවිය.

ඒ අනුව මෙම කඩඉම අඩුම පන්දු සංඛ්‍යාවකින් පසුකළ ලොව පළමු  පන්දු යවන්නා ලෙස සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකිවිය.

රබාඩා සිය 300 වැනි කඩුල්ල පන්දු 11,817ක් යොමුකර සම්පූර්ණ කරගැනීමට සමත් වූ අතර, ඒ සමග ඔහුට වසර 24ක් පුරා එම වාර්තාවට හිමිකම් කියූ පාකිස්තානයේ වකාර් යුනුස් අභිබවා යාමට හැකිවිය.

වකාර් පන්දු 12,602කින් කඩුලු 300 කඩඉම සම්පූර්ණ කර තිබුණි.

දකුණු අප්‍රිකාවේ වැඩිම කඩුලු (439) දවාලූ පන්දු යවන්නා වන ඩේල් ස්ටෙයින් මෙම වාර්තාවේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. ස්ටෙයින් පන්දු 12, 605ක් යොමුකර මෙම කඩයිම සම්පූර්ණ කර ඇත.

රබාඩා ටෙස්ට් කඩුලු 300 කඩඉම පසුකළ 6වැනි දකුණු අප්‍රිකානු පන්දු යවන්නාය.