
ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය කරගත් ජාත්‍යන්තර පුවත් සේවයක් වන Agence France-Presse (AFP) ආයතනයේ AFP Forum අන්තර්ගත වේදිකාව සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් තාවකාලිකව අක්‍රිය කර තිබේ.
එම ආයතනයේ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත.
AFP Forum යනු එම පුවත් සේවයේ ගනුදෙනුකරුවන්ට පුවත් අන්තර්ගතයන් පිරික්සීමට සහ බාගත කර ගැනීමට පහසුකම් සලසන වේදිකාවකි.
කෙසේවෙතත් ප්‍රහාරය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස AFP Forum වේදිකාව අක්‍රිය කිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.
ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු එම වේදිකාව භාවිත කළ නොහැකි බව AFP කළමනාකාරීත්වය සඳහන් කර ඇත.
වේදිකාව අක්‍රියව පවතින කාලය තුළ සිය ග්රාහකයන්ට අවශ්‍ය පුවත් අන්තර්ගතයන් ලබාගැනීම සඳහා විකල්ප ක්‍රමවේද සපයන බව ද එම ආයතනය වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර, සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් බාහිර විශේෂඥයන්ගේ සහාය ඇතිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද AFP ආයතනය සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව ද එම ප්‍රකාශයේ දැක්වේ.
මෑත මාස කිහිපය තුළ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක සමාගම් සහ රාජ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති පසුබිමක මෙම සිදුවීම වාර්තා වේ.
එම ප්‍රහාර අතරින් ඇතැම් ඒවා මූල්‍ය වාසි අපේක්ෂා කරන අපරාධ කණ්ඩායම් විසින් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති අතර, තවත් ප්‍රහාරවල අරමුණ වී ඇත්තේ සමාජ හා දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම බව ද වාර්තා වේ.















































