
තාක්ෂණික ආධිපත්‍යය, හමුදා නවීකරණය සහ ගෝලීය බලපෑම ඔස්සේ ලොව සුපිරි බලවතා වීමේ තරගයක නිරතවී සිටින රටක් ලෙස චීනය ලෝකය හමුවේ පෙනී සිටියද චීනය තුළ රැකියා අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෘත්‍රිම බුද්ධිය (AI) සහ විදුලි වාහන නිෂ්පාදනයේ සිට අභිලාෂකාමී භූ-දේශපාලනික වැඩපිළිවෙළක් දක්වා බීජිං පාලනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය අබිබවා ලොව ප්‍රමුඛතම බලවතා බවට පත්වීමය.
නිල දත්තවලට අනුව 2026 සැප්තැම්බර් මාසය වන විට චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2% ක මට්ටමක පැවති අතර, චීන රජය එය හඳුන්වන්නේ ස්ථාවර ශ්‍රම වෙළෙඳපොළක සාක්ෂියක් ලෙසිනි.
නමුත් මිලියන සංඛ්‍යාත චීන කම්කරුවන්ට, විශේෂයෙන්ම වයස්ගත රැකියා අපේක්ෂකයන්ට සහ නව උපාධිධාරීන්ට මෙම සංඛ්‍යාලේඛනවල කිසිදු ප්‍රායෝගික සත්‍යතාවක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
චීනය විරැකියාව මැනීම සඳහා භාවිතා කරන සමීක්ෂණ ක්‍රමවේදයට අනුව, සමීක්ෂණ කාලසීමාව තුළ සුළු හෝ ගෙවීමක් ලබන ඕනෑම රැකියාවක නිරත වන්නෙකු රැකියා නියුක්තිකයෙකු ලෙස වර්ගීකරණය කෙරෙයි. ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම අර්ථ දැක්වීම හරහා ඊට වඩා බොහෝ ගැඹුරු ගැටලුවක් යටපත් වන බවය.
නිල විරැකියා අනුපාතය වසර ගණනාවක් පුරා නොවෙනස්ව පැවතියද, විරැකියා ප්රතිලාභ ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.











































