
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන මිත්‍ර ශක්ති – XII’ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් විය.
මෙම යුද අභ්‍යාසය පසුගිය 13 වැනි දින සිට ඊයේ (26) දිනය දක්වා මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් 153 දෙනෙකුද, ඉන්දීය යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 150 දෙනෙකුද සහභාගී වූහ.
අභ්‍යාස පාලන හා සහායක අංශයන්ද ඇතුළුව භට පිරිස් 650කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන සඳහා දායක වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඒ සඳහා දායකත්වය ලබා දී ඇත.
මෙම අභ්‍යාසයේදී බලඇණි මට්ටමේ කැරලි මර්දන මෙහෙයුම්, ගුවන් සහාය, ඒකාබද්ධ කිරීම, නගරබද හා කැලෑබද සටන්, ජීව වෙඩි තැබීම්, රැක සිට පහරදීමේ මෙහෙයුම්, යුද රථ පෙළවල ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජන සාමය තහවුරු කිරීමේ මෙහෙයුම් ඇතුළු විවිධ උපක්‍රම පුහුණු ක්‍රියාකාරකම් සිදු කෙරිණි.
එමෙන්, විශේෂ බළකා පුහුණු පහසුකම් නිරීක්ෂණය කිරීම, සටන් පුහුණු උපකරණ භාවිතය සහ විවිධ මෙහෙයුම් අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රායෝගික පුහුණුවීම් ද මීට ඇතුළත් විය.
අභ්‍යාසයේ අවසන් ප්‍රායෝගික අදියර වන ‘Assault on Fortified Village’ නිදර්ශනය පසුගිය 25 දින මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ සහකාර ආරක්ෂක උපදේශක ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව සිටියහ.
‘මිත්‍ර ශක්ති – XII’ ඒකාබද්ධ යුද අභ්‍යාසය තුළින් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව අතර ඒකාබද්ධව මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව, වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරුව මෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වූ අතර, දෙරට අතර පවතින දිගුකාලීන හමුදා මිත්‍රත්වය සහ කලාපීය සාමය හා ආරක්ෂාව වෙනුවෙන් වන කැපවීම ද යළිත් තහවුරු වූ බවද යුද හමුදාව සඳහන් කළේය.











































