
හලාවතට ඔබ්බෙන් මුහුදේදී මෝර වරල් සහ බීඩි කොළ හුවමාරු කිරීමේ නීතිවිරෝධී ජාවාරමක් ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව සමත්ව තිබේ.
අද (26) සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෝර වරල් අඩංගු උර 6ක් සහ බීඩි කොළ අඩංගු උර 63ක් සමඟ දේශීය ඩිංගි යාත්‍රාවක් සහ ඉන්දීය යාත්‍රාවක් සිය භාරයට ගෙන ඇත.
එහිදී දේශීය ධීවරයින් සිව්දෙනෙකු සහ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් 'සමරක්ෂා' නෞකාව මඟින් සැකකටයුතු දේශීය ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෝර වරල් අඩංගු උර 6ක් සොයාගෙන ඇති අතර, සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම මෝර වරල් තොගය ඉන්දීය යාත්‍රාවක් සමඟ බීඩි කොළ වෙනුවට හුවමාරු කිරීමට සැලසුම් කර තිබූ බවය.
ඒ අනුව සිදුකළ වැඩිදුර මෙහෙයුමේදී භාණ්ඩ හුවමාරුවට පැමිණි ඉන්දීය යාත්‍රාව සහ එහි තිබූ බීඩි කොළ උර 63ක් ද සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් උරයක බර කිලෝග්‍රෑම් 30ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව මෝර වරල් කිලෝග්‍රෑම් 180ක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,890ක් ඇතුළුව සමස්ත භාණ්ඩ තොගය කිලෝග්‍රෑම් 2,070ක් පමණ වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, යාත්‍රා සහ භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.












































