
කලා සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති සහ ඒවායේ වටිනාකම හඳුනාගත් පරම්පරාවක් බිහි කිරීමට අවශ්‍ය පදනම සැකසීම රජයේ වගකීමක් බවත්, මිනිසුන් අතර සහකම්පනය, සංහිඳියාව සහ සාමය වර්ධනය කරන, අන් අයගේ වේදනාව හඳුනා ගැනීමට හැකි, වෙනස්කම්වලට ගරු කිරීමට මඟ පෙන්වන කලාවක් බිහි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22) පැවති 'සාම මුද්‍රා නාට්‍යයේ' 40 වසරක ගමන් මඟ සැමරීම සහ එහි ප්‍රවීණයන් ඇගයීමේ "TRIBUTE TO LEGENDS" උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙම උත්සවයේදී කලා ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන කලාකීර්ති රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය චන්න විජේවර්ධන සහ සාම මුද්‍රා නාට්‍යයේ පුරෝගාමියෙකු වන නවීන් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු සාම මුද්‍රා නාට්‍යයේ ශිල්පීන්ගේ අතීත මෙහෙවර ඇගයීමට ලක් කරමින් අග්‍රාමාත්‍යවරිය අතින් සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.
සාම මුද්‍රා නාට්‍යයේ 40 වසරක ගමන් මඟ අනුස්මරණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද මෙහිදී සිදු විය.
අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
වසර 40ක් පුරා 'සාම මුද්‍රා නාට්‍යය' සමඟ ගොඩනැඟුණු ගමන් මඟ හුදු ඉතිහාසයක් පමණක් නොව, සාමය සහ සහජීවනය පිළිබඳ අදහස කලාව ඔස්සේ සමාජගත කළ දීර්ඝකාලීන කලා මෙහෙවරක්. 1985 වසරේ නවීන් ගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙය ආරම්භ වීමත් සමඟ මෙරට නර්තන කලාවේ නව පරිච්ඡේදයක් උදා වුණා.
දේශීය නර්තන ශිල්පීන්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමටත්, ජාත්‍යන්තර වේදිකාව දක්වා ගමන් කිරීමටත් අවස්ථා විවර වීම හා එමඟින් ඉදිරියට යා හැකි දක්ෂ ශිල්පී පරම්පරාවක් බිහි වීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්. භාෂාව, ජාතිය, ආගම සහ සංස්කෘතිය අනුව බෙදී සිටින මිනිසුන්ට කලාව තුළින් එකම මානුෂීය පණිවිඩයක් සන්නිවේදනය කළ හැකි බව ලෝකයට පෙන්වා දීම මහඟු මෙහෙවරක්.
ඒ වගේම සාම මුද්‍රා නාට්‍යය අතිදක්ෂ නර්තන ශිල්පී ශිල්පිනියන් රැසකගේ නිර්මාණ එකම වේදිකාවක නැරඹීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. මෙම උපහාරය අතීත මෙහෙවර සිහිපත් කිරීමකට පමණක් සීමා නොවී, කලා උරුමය අනාගතයට ගෙන යමින් වඩාත් සාමකාමී හා සංවේදී සමාජයක් ගොඩනැඟීමේ වගකීම පිළිබඳ පණිවිඩය ඉදිරි පරම්පරා ගණනාවකට ගෙන යාමට අවස්ථාවක්."
















































