
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා අද (22) දින සිට පත් කර තිබේ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා වෙත නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් ප්‍රදානය කර ඇත.
කෑගල්ල, තෝලන්ගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා , 1992 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වී ඇත.
සිය මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1994 වර්ෂයේ වැඩ බලන උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්වන ඔහු, 1996 වර්ෂයේදී කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1999 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින්ද, ජල ශාස්ත්‍ර පාඨමාලාව 2002 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව වෙතින්ද හදාරා, ජල ශාස්ත්‍රය සම්බන්ධ විශේෂඥතාවය ලබා ඇත.
රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, සිය කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව 2004 වර්ෂයේදී බංග්ලාදේශය වෙතින්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව 2008 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපදයේදී සහ දීර්ඝ ජල ශාස්ත්‍රීය පාඨමාලාව 2010 වර්ෂයේදී ඉන්දියාවේදී හදාරන ඔහු, ඉන්දියාවේ ගෝවා විශ්ව විද්‍යාලයෙන් ජල ශාස්ත්‍රීය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා තිබේ.
සිය වෘත්තීය අධ්‍යයනයෙහි අඛණ්ඩව නිරත වෙමින්, ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව හදාරා, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය හිමිකර ගනිමින් ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2024 වර්ෂයේ රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත.
සිය සේවා කාලය තුල, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන උපදේශක, නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, අධ්‍යක්‍ෂ නාවික පරීක්‍ෂණ, නියෝජ්‍ය ආඥාපති උතුරු මැද නාවික විධානය, නියෝජ්‍ය ආඥාපති බටහිර නාවික විධානය, ආඥාපති වයඹ නාවික විධානය, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු සහ ආඥාපති දකුණු නාවික විධානය ලෙස නාවික හමුදාවේ ප්‍රමුඛ නිලතල දරා තිබේ.
රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා, අභිනව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මෙන්ම, උතුරු නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
එමෙන්ම, තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී විදාහ පෑ නිර්භීතභාවය වෙනුවෙන්; වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම සහ රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් හා දේශ පුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.
තවද, ඔහුගේ සේවය අගයමින් අවස්ථා දෙකකදී නාවික හමුදාධිපතිවරුන් විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.
තවද, ක්‍රීඩකයෙකු ලෙස ද විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කර ඇති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, නාවික හමුදා මලල ක්‍රීඩා සංචිතයේ, ජූඩෝ සහ මල්ලවපොර සංචිතයන්ගේ ලේකම් ධුර මෙන්ම, නාවික හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.


















































