
ඌව පළාතේ පළාත් පාලන ආයතන 28 සඳහා නව තාක්ෂණයෙන් යුත් නිල වෙබ් අඩවි 28ක් එළිදැක්වීමට පියවර ගෙන තිබේ.
පසුගිය කාලය පුරා නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් අක්‍රීයව පැවති වෙබ් අඩවි වෙනුවට මෙම නව වෙබ් අඩවි හඳුන්වාදීමට පියවර ගෙන ඇත.
මේ සඳහා කිසිදු රජයේ මුදලක් වැය නොකර, ඌව පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් සහ තාක්ෂණික ඥානයෙන් මෙම අඩවි නිර්මාණය කර තිබීමත් විශේෂත්වයකි.
පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමේදී වර්තමානයේ උද්ගතවී ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳවත් අවධානය යොමුකරමින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආදර්ශ සභා ඇතුළු ප්‍රායෝගික ක්‍රියාකාරකම්, විද්වත් සාකච්ඡා, දේශන ඇතුළු අංග සහිත විශේෂ වැඩසටහන් මාලාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබයි.
ඒ යටතේ ඌව පළාත් වැඩසටහන ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දිනයේත් පැවැත්වූ අතර එහිදී මෙම වෙබ් අඩවි එළිදැක්වීමට පියවරගෙන ඇති බව සඳහන්ය.
තවද මෙම වැඩමුළු මාලාවේදී සභා රැස්වීම් හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය, සභා තීරණ ක්‍රියාත්මක කිරීම, කාරක සභා කටයුතු, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලධර්ම හා ක්‍රියාපටිපාටි, පළාත් පාලන ආයතනවල බලතල හා වගකීම් මෙන්ම නීති හා රෙගුලාසි ප්‍රායෝගිකව යොදා ගැනීම පිළිබඳ අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.



















































