
අයවැය තුළින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වූ කරුණු ඉටු නොවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා (23) දින සියලුම ශාඛා සමිති රැස්වීමක් කැඳවීමට එම සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන සඳුදා දහවල් 12 සිට 2 දක්වා වූ කාලය තුළ මෙම ශාඛා සමිති රැස්වීම පැවැත්වීමට නියමිත අතර එම කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගැනීමට නියමිතය.
එමෙන්ම ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය විධායක සභාවට පැවරෙන අතර ඒ අනුව ඉදිරියේදී විධායක සභාව වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ පසුගිය වසර දෙක තුළ පමණක් තමන්ට නියමිත හිමි දීමනාවලින් සැලකිය යුතු කොටසක් කැප කොට රුපියල් ලක්ෂ 44,000කට අධික මුදලක් රටට සහ රජයට ඉතිරි කළ බවය.
කෙසේ නමුත් වෘත්ත්කයින් ලෙස වෛද්‍යවරුන්ට සිදුවන ආර්ථික අසාධාරණයට සාධනීය සහනයක් මෙවර අයවැය තුළන් බලාපොරොත්තු වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
එහෙත් පසුගිය නොවැම්බර් 12 වැනි දින ඉදිරිපත් කරන ලද අයවැය තුළ වෛද්‍යවරුන්ගේ සියලු සාධාරණ ඉල්ලීම් නොසලකාහැර තිබූ බවත් ඒ පිළිබඳ දිවයින පුරා සමස්ත වෛද්‍ය ප්‍රජාව තුළම දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇති බවත් එම සංගමය පෙන්වා දී ඇත.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධව පසුගිය 19 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව කැඳවූ බවත් එහිදී වෛද්‍ය ප්‍රජාව වෙනුවෙන් කරුණු 5ක් අයවැය හරහා ලබා ගැනීමට යෝජනා වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
එහිදී 2018 වසරේදී අනුමත සමස්ථ DAT දීමනාව වහාම ලබාදීම, DAT දීමනාව සහ අමතර රාජකාරි / නිවාඩු දින දීමනා, බදුවලින් නිදහස් කිරීම, වසර 2ක් පුරා අත්හිටුවා ඇති අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන්වල 1/3 නැවත ගෙවීමට කටයුතු කිරීම, සුදුසුකම් සපුරන ලද වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය අනුව ප්‍රවාහන පහසුකම් සඳහා අන්තර්ග්‍රහණය කිරීම සහ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් අයවැය හරහා ලබා ගැනීමට කටයුතු කිරීමට යෝජනා වූ බව එම සංගමය පෙන්වා දී ඇත.
එමෙන්ම ඉදිරි සතිය තුළදී මෙම කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවත් පෙන්වා දෙන එම සංගමය ඉදිරි සතිය තුළදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමටද නියමිත බවද සඳහන් කළේය.
තවද වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව නිසි අවධානය යොමු කර සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



















































