
වසර 90කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන නුවරඑළිය පාපන්දු ක්‍රීඩා ක්ෂේත්රයේ මෙතෙක් නොලියැවුණු ජාත්‍යන්තර පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, එම පාපන්දු සංගමය යටතේ බිහිවූ පළමු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයා ලෙස ටී.එෆ්.සූඩීන් මහතා ඉතිහාසයට එක්ව සිටියි.
ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ විනිසුරු කටයුතු සඳහා එක්වීමට ඔහු සමත්වීමත් සමඟ නුවරඑළියේ අභිමානවත් ක්‍රීඩා උරුමයට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව තිබේ.
2026 නොවැම්බර් 05 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ආසියානු පාපන්දු තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා ටී.එෆ්.සූඩීන් මහතා එක්වන බව සඳහන්ය.
නුවරඑළිය පාපන්දු සංගමයේ වසර 90කට අධික ඉතිහාසය තුළ එම සංගමය යටතේ බිහිවූ විනිසුරුවරයකු ජාත්‍යන්තර තරගාවලියක විනිසුරු කටයුතු සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී ජාත්‍යන්තර අවස්ථාව ටී.එෆ්.සූඩීන් මහතාට උදාකර දීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමර් මහතා සහ එහි විනිසුරු අධ්යක්ෂ සම්පත් නාකන්දල මහතා මැදිහත්ව කටයුතු කර තිබේ.
එමෙන්ම, සූඩීන් මහතා වසර හතරක කාලයක් පුරා ආසියානු පාපන්දු සම්මේලනයේ විනිසුරු ඇකඩමියක පුහුණුවීම් කටයුතුවල නිරතවී ඇත.
එම පුහුණුවීම් තුළින් සිය විනිසුරු වෘත්තීය දැනුම, තාක්ෂණික අවබෝධය සහ ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා අවශ්‍ය හැකියාවන් වර්ධනය කරගැනීමට ඔහු කටයුතු කර තිබේ.















































