
පැපුවා නිව්ගිනියාවේ සිටින තායිවාන රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට සහ එරට පිහිටි තායිවාන නියෝජිත කාර්යාලය වසා දැමීමට පැපුවා නිව්ගිනියා රජය පසුගිය සතියේ ගත් හදිසි තීරණය පිටුපස චීනය සිටින බව තායිවාන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් චෝදනා කරයි.
සිය රට "එක් චීනයක්" ප්‍රතිපත්තියට අනුගත වන බව පවසමින් පැපුවා නිව්ගිනියා විදේශ අමාත්‍යවරයා පළමු වරට පසුගිය ජූලි 16 වැනිදා තායිවාන නියෝජිත කාර්යාලය වසා දමන ලෙස ඉල්ලීමක් කළ බව තායිවාන විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු සහ පැසිෆික් කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් Hung-Hsun Lin සඳහන් කරයි.
ඉන් අනතුරුව තායිවානය සහ පැපුවා නිව්ගිනියාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එම නියෝජිත කාර්යාලය වසා දැමීම සඳහා පැපුවා නිව්ගිනියාව විසින් තායිවානයට වසරක ලිඛිත දැනුම්දීමක් ලබාදීමට එහිදී එකඟ වූ බවද පැවසෙයි.
කෙසේ වෙතත්, නොවැම්බර් 6 වැනිදා පැපුවා නිව්ගිනියාව යළිත් මෙම ගැටලුව මතු කරමින්, එරට සිටින තායිවාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දින හතක් ඇතුළත රටින් පිටව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
පැපුවා නිව්ගිනියාවේ මෙම හදිසි ස්ථාවර වෙනසට චීනයේ බලපෑම හේතුවී ඇති බව තායිවානය පවසයි.
පසුගිය සතියේ පැපුවා නිව්ගිනියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් චීනයේ සංචාරයක නිරත වූ බවත් තායිවානය පෙන්වාදෙයි.














































