
නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයින් 102,469 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණ කරයි.
එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 31,185කි. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් 30%කට ආසන්න ප්රතිශතයකි.
දෙවන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර, එරටින් සංචාරකයින් 9,772 දෙනෙකු පැමිණ තිබේ. එක්සත් රාජධානියෙන් 6,898 දෙනෙකු, ජර්මනියෙන් 6,574 දෙනෙකු සහ චීනයෙන් 5,147 දෙනෙකු එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,964,773ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2026 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන තිබේ. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 530,810 දෙනෙකු පැමිණ ඇත.
දෙවන ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර, එරටින් සංචාරකයින් 180,027 දෙනෙකු පැමිණ තිබේ. චීනයෙන් 128,887 දෙනෙකු සහ ජර්මනියෙන් 111,879 දෙනෙකු පැමිණ ඇති අතර, පස්වන ස්ථානය හිමිව ඇත්තේ සංචාරකයින් 100,030 දෙනෙකු පැමිණි ඔස්ට්‍රේලියාවටයි.













































