
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් 3,111,000ක (තිස් එක් ලක්ෂ එකොළොස් දහසක) මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත ලබන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් 3,111,000ක (තිස් එක් ලක්ෂ එකොළොස් දහසක) මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත ලබන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අද (17) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
2015 සහ 2019 වර්ෂ අතර කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා මගින් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.
එහදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් අධිකරණයේ දී කරුණු දක්වමින් පවසා ඇත්තේ,
"ස්වාමීනි, මේ සම්බන්ධව දූෂණ විරෝධී පනත ප්‍රකාරව මෙහි මානව සම්පත් කළමණාකරු වශයෙන් සිටි අසංක පෙරේරා යන අය දූෂණය නමැති වරද සිදු කර තිබෙනවා. ඔහු මේ වනවිට මියගොස් සිටින්නේ. ආනන්ද පාලිත යන අයට දූෂණය නමැති වරදක් සිදු කිරීමේ චෝදනා එල්ල කරලා නැහැ. ඔහුට තිබෙන්නේ පොදු දේපල අවභාවිතා කිරීම සම්බන්ධව පොදු දේපල පනත යටතේ චෝදනායි. මේ සම්බන්ධව ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා වෘත්තිය සමිති වැඩ කටයුතුවල නිරත වන බව, මොහු ලබාගෙන තියෙන්නේ අතිකාල දීමනා, අතිකාල දීමනා එන්නේ හවස 4.45න් පසුව, අතිකාල දීමනා ලබා ගැනීමට මොහු රාජකාරී කරලා නැහැ, මොහු රාජකාරියට වාර්තා කළා කියලා සඳහන් කරන්නේ උදේ 7.15, 7.30 වාහනය ආවා කියලා ගේට් පාස් එකේ සඳහන් වෙන්නේ 8.30, 8.45 කියලා,
සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහතිකයක් නිකුත් කර තිබෙනවා ස්වාමීනි, 100,000ට වැඩි මුදලක් සාපරාධි පරිහරණය කිරීම සම්බන්ධව. මේ මුදල් මොහුට අයිති නැත්නම් ප්‍රතික්ෂේප කරන්න තිබ්බා"
අනතුරුව සැකකාර ආනන්ද පාලිත මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සමගින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයේ කරුණු දැක්වීය.
"ස්වාමීනි,මොවුන් සඳහන් කළා මාගේ සේවාදායකයාට පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කරලා කියලා. පොදු දේපළ පනතේ අර්ථ නිරූපණයට අනුව කිසිම ආකාරයෙන් සමාගමක දේපළ මීට අදාළ වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා CPSTL,සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගමක්, මේවා ගැන හොයන්න තිබ්බේ අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කලින්. මේ සම්බන්ධව ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා පැමිණිල්ල විසින්. එය අධිකරණයට ඉදිරිපත් කළා. එහි සඳහන් වෙනවා “පැමිණීම සහ පිටවීම වාර්තා කළ පසු වැටුප් සහ දීමනා ගෙවන ලෙස” දීමනා කියලා සඳහන් වෙනවා. ඒවා අතිකාල වෙන්න පුළුවන් වෙනත් දීමනා වෙන්න පුළුවන් මේ මුදල් මොහුගේ ගිණුමට ඇවිත් තියෙන්නේ.
කවුද ස්වාමීනි තමන්ගේ ගිණුමට මුදල් ලැබුණාම ඒක ප්‍රතික්ෂේප කරන්නේ හිටපු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නටත් වැටුප් දෙකක් ගෙවලා තියෙනවා, මම දන්නේ නැහැ මේ නිලධාරීන් ඒ සම්බන්ධව දන්නවද නැද්ද කියලා, මේ නිලධාරීන්ව පාවිච්චි කරනවා, මෙයාලා හදන්නේ රිමාන්ඩ් කරලා කටවල් වහන්න, මොහු වෘත්තිය සමිති නායකයෙක්. වෘත්තිය සමිති සමාජිකයින්ට රාජකාරි වෙලාවේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න බැහැ. රාජකාරි වෙලාවෙන් පස්සේ කතා කරන්නේ. ඒකට තමයි හවස වැඩ කරන්නේ. මේ නඩුව පටන් ගත්තේ අසංක පෙරේරාට විරුද්ධව. ඔහු මැරිලා කියලා බැලුවා දැන් කාටද මේක පටවන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආනන්ද පාලිත ඉන්නවා එයාට පැටෙව්වා. 2018න් පස්සේ අවුරුදු 8ක් 9ක් තිබ්බා ඕන තරම් විගණන කරලා මේ මුදල් වැරදි විදියට අරන් කියලා ඔප්පු කරන්න. මොහු මේ ආකාරයට අතිකාල දීමනාවක් ඉල්ලලා නැහැ"
අනතුරුව නැවතත් විමර්ශන නිලධාරීන් අධිකරණයේ කරුණු දැක්වීය.
"ස්වාමීනි,මෙය 60%ක් රජය සතුයි. මේව විගණනයට ලක් වෙනවා, මොහු පර්යන්තයේ වැඩ කරලා නැහැ. මොහුට අතිකාල දීමනාවක් ඉල්ලන්න බැහැ. ඒක තමයි අපිත් කියන්නේ, තමන්ට අයිති නැති එකක් ඇයි මෙයා ගත්තේ, ප්‍රතික්ෂේප කරන්න තිබ්බනේ."
අනතුරුව දෙපාර්ශ්වයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන මහතා සැකකාර ආනන්න පාලිතව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.


















































