
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල සලකා බැලීම අද (11) අභියාචනාධිකරණයේදී ආරම්භ විය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පැමිණිල්ල සලකා බැලීම සිදුකෙරුණි.
එහිදී වගඋත්තරකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිය කරුණු දැක්වීම ආරම්භ කරමින් කියා සිටියේ, ඉකුත් ජුනි මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මත මෙම නඩු කටයුතු ආරම්භ වී ඇති බවය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී අමානුෂික සැලකීම්වලට භාජනය වූ බවට සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට පැමිණිල්ලක් කර තිබූ පසුබිමක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ නායකයෙකු වශයෙන් එවැනි පොදු කාරණයක් සම්බන්ධයෙන් නිහඬව සිටීමට සිය සේවාදායකයාට නොහැකි බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඒ අනුව අදාළ කාරණය සම්බන්ධයෙන් සිය සේවාදායකයා අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකර ඇති අතර, ඒ තුළ කිසිදු ආකාරයකට අධිකරණයට අපහාස කිරීමක් සිදුකර නොමැති බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පැවසීය.
මෙහිදී ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායක උදය ගම්මන්පිල සිදුකළේ යැයි ප්‍රශ්නගතවී ඇති ප්‍රකාශය පිළිබඳවද අධිකරණයට කරුණු පැහැදිලි කළේ.
"ස්වාමිනි, මාගේ සේවාදායකයා සඳහන් කර තිබෙන්නේ "ශානිගේ අමානුෂික වධකාගාරය" යනාදී කරුණු. ඔහු කිසිදු අවස්ථාවක අධිකරණය වධකාගාරයක් ලෙස ප්‍රකාශ කර නැහැ.
2024 අංක 8 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරීමේ පිළිබඳ පනතේ 03 වන වගන්තිය යටතේ අධිකරණ ආයතනවලට සිදුකරන අපහාස පිළිබඳව පැහැදිලි කර තිබෙනවා. ඊට අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණ විෂය පථයට ඇතුළත් වන්නේ නැහැ.
මෙහිදී මගේ සේවාදායකයා ප්‍රශ්නකර ඇති අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන සිදුකිරීම විධායක ක්‍රියාවන් මිස අධිකරණ ක්‍රියාවන් නොවෙයි.
සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති කිරීමට වගඋත්තරකරුවන් ක්‍රියාකර ඇති බව මෙම පැමිණිල්ල තුළ සඳහන් කර තිබෙනවා.
මගේ සේවාදායකයා සිදුකළ ප්‍රකාශයේ සඳහන් වන්නේ ශානි අබේසේකර පිළිබදව. මෙම පැමිණිල්ල තුළින් අධිකරණ විෂය පථයට ශානි අබේසේකර ඇතුළත් කිරීමට ක්‍රියාකර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ කටයුතු අධිකරණ විෂය පථයට ඇතුළත් වෙන්නේ නැහැ ස්වාමිනි, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති ප්‍රතිපාදන හඳුන්වාදීමේ අරමුණ අධිකරණය ආරක්ෂා කිරීම.
නමුත් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ විෂය පථයට අයත් වන්නේ නැහැ. මේක මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ වැරදී පැමිණිල්ලක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තුළින් අධිකරණ බලය අවභාවිතයට ලක් කර තිබෙනවා. "
අනතුරුව වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
"ස්වාමිනි, අධිකරණයට අපහාස කිරීම යනු බරපතළ චෝදනාවක්. එවැනි චෝදනාවක් මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ කොහොමද?. මෙම පැමිණිල්ල තුළින් පෙනී යන්නේ අධිකරණය සතු බලය පොලිසිය විසින් පවරා ගැනීමට කටයුතු කර තිබෙන ආකාරය. මාගේ සේවාදායකයා රූපවාහිනි වැඩසටහනක් දී සිදුකළ ප්‍රකාශයක් මෙම නඩුකරයට පාදක වී තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශයේ අඩංගු එක් වාක්‍යයක් පමණක් සැලකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් ඔහු තුළ තිබූ බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කරන්නේ කොහොමද? සුරේෂ් සලේ පිළිබඳ සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය පිළිබදව පවතින ගෞරවය ඉහළ යමින් පවතින බවත්, අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය ඉහළ යමින් තිබෙන බවත් මගේ සේවාදායකයා එම රූපවාහිනි වැඩසටහනේ දී ප්‍රකාශ කර තිබෙනවා.
එසේ තිබියදීත් ඔහු තුළ අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තිබූ බව ප්‍රකාශ කරන්නේ කොහොමද? මගේ සේවාදායකයා ලබා දුන් පිළිතුරේ කොටසක් පමණක් තෝරාගෙන ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය එළඹීමේදි රබර් මුද්‍රාවක් වශයෙන් ක්‍රියාකර තිබෙනවා.
ස්වාමීනී... මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් විසින් සිදුකර තිබෙන බව කියන ප්‍රකාශ එකිනෙකට වෙනස්. නමුත් මේ සියල්ල එකට ගොනුකර මහේස්ත්‍රාත්වරයා විසින් එක් පැමිණිල්ලක් ලෙස මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මේ පැමිණිල්ල මේ ආකාරයෙන් ඉදිරිපත් වුණේ ඇයි දැයි සිතාගන්න අමාරුයි. මේ පැමිණිල්ල මේ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න බැහැ."
වැඩිදුරත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම පැමිණිල්ල හරහා අධිකරණ බලය පොලිසිය වෙත පැවරීමට ක්‍රියා කර ඇතැයි චෝදනා කළේය.
" ස්වාමීනී... පසුගියදා අපි සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඒ පනත් කෙටුම්පත තුළින් අධිකරණය සතු බලය පොලිසිය වෙත පවරා දීමට යෝජනා කර තිබුණා. ඊට පසුව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙනුත් අධිකරණය හමුවේ අපි කරුණු ඉදිරිපත් කළා.
ඒ තුළිනුත් මහේස්ත්‍රාත්වරයා සතු බලය අල්ලස් කොමිසමට පැවරීමට යෝජනා කර තිබුණා. වාසනාවකට වගේ එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. මෙය ඉතාම භයානක තත්ත්වයක්. මෙම පැමිණිල්ල තුළත් එවැනි තත්ත්වයක් දකින්නට තිබෙනවා" යැයි සඳහන් කළා.
ඒ අනුව සිය කරුණු දැක්වීම අවසානයේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම ක්‍රියාවලියේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණ බලය අවභාවිත කරමින් දුෂ්ට චේතනාවකින් යුතුව කටයුතු කර ඇති අතර මේ හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමඟ යවමින් කටයුතු කර ඇති බවය.
ඉන් අනතුරුව තවත් වගඋත්තරකරුවකු වන කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වී.කේ.චොක්සි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා පලකළ ෆේස්බුක් සටහනක් මෙම නඩුකරයට පාදක වී තිබෙනවා බව සඳහන් කළේය.
එම ෆේස්බුක් සටහන් ඉකුත් ජූනි මස 10 වනදා පළකර තිබූ අතර එය ජූනි මස 11 වනදා ඔහු විසින් ඉවත් කරගෙන තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඉන් පසුව ජූනි මස 12 වනදා ඒ සම්බන්ධයෙන් ඔහු කොන්දේසි විරහිතව සමාව අයැද සිටිමින් සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් තවත් ෆේස්බුක් සටහනක් තැබූ බවත් ජනාධිපති නීතිඥවරයා ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සඳහන් කළේය.
එබැවින් මෙම ක්‍රියාවලිය තුළ සිය සේවාදායකයාට අධිකරණයට අපහාස කිරීමේ මානසිකාංගයක් නොතිබූ බව පැහැදිලි වන බව පැවසූ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳව සඳහන් කරමින් සිය සේවාදායකයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද අවධාරණය කළේය.
ඉන් අනතුරුව වගඋත්තරකාර අසංක නවරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් ශානි අබේසේකරගේ වධකාගාරය පිළිබඳ සඳහන් කර තිබෙන අතර ඒ තුළ ඔහු අධිකරණයට අපහාස කිරීමක් සිදුකර නොමැති බව පැවසීය.
පොලිස් නිලධාරීන් යනු අධිකරණ නිලධාරීන් නොවන අතර ඔවුන් විධායකය නියෝජනය කරන්නන් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, අධිකරණ බලය පොලිසිය වෙත හිමි නොවන බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල වැඩිදුර සලකා බැලීම හෙට දින දක්වා කල්තැබුණි.
















































