
ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අද (10) පස්වරු 4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය නොවැම්බර් 13 වැනිදා පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ.
නොවැම්බර් 13 වැනිදා පමණ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් කරමින් ඉන් අනතුරුව පැය 24ක කාලය තුළ වර්ධනය වූ අඩු පීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
මේ හේතුවෙන් නොවැම්බර් 14 සහ 15 යන දිනවල සිට බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් සුළං හමා යා හැකි අතර, විටින් විට එම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
















































