
කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ නව ප්රවේශයකට මුල පුරමින්, බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති ප්‍රථම සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව (First BIMSTEC Senior Officials’ Meeting on Health) අද (10) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හත නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.
මෙම සාකච්ඡා මගින් කලාපීය සෞඛ්‍ය අභියෝග හඳුනාගැනීම, ඒවාට සාමූහිකව මුහුණදීම සහ තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කරගැනීම කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කර ඇත.
ඒ යටතේ පහත කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරේ:
බෝවන රෝග හා වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම.
හදිසි සෞඛ්‍ය තත්ත්වයන්ට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම.
රෝග නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම.
ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය අවම කිරීම, ඩිජිටල් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය පර්යේෂණ දියුණු කිරීම.
දේශගුණික විපර්යාස සෞඛ්‍ය ක්ෂේත්රයට එල්ල කරන බලපෑම්.
මානව හා සත්ව සෞඛ්‍යය අතර අන්තර් සම්බන්ධතාව පදනම් කරගත් 'එක් සෞඛ්‍ය' (One Health) ප්‍රවේශය සහ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීම.
බිම්ස්ටෙක් මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ මෙම හමුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සහ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
භූගෝලීය සමීපතාව සහ දේශසීමා ඉක්මවා පැතිර යා හැකි සෞඛ්‍ය අවදානම් සැලකිල්ලට ගනිමින්, බිම්ස්ටෙක් කලාපයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් ඇති කරගන්නා තාක්ෂණික හා ප්‍රතිපත්තිමය එකඟතා ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















































