
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පසුගියදා ඇතිවූ අධික වැසි හමුවේ මාර්ග ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවීම සම්බන්ධව අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීමක් සිදුකළේය.
එහිදී නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ කොළඹ නගර සභා සීමාව තුළ ජලය බැස යන කාණු පද්ධතියේ සහ ඇළ මාර්ගයේ සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 469ක් වන බවය.
2014 සිට මේ වන තෙක් විවිධ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු කිරීම් හමුවේ කිලෝමීටර් 20ක පමණ දුර ප්‍රමාණයක් පැයකට මිලිමීටර් 102ක වර්ෂාපතනයක් හමුවේ ජලය බැස යාමට සකස් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ මෙලෙස ජලය රැඳී තිබීම සහ කොළඹ නගර සීමාව තුළ ස්ථාන රැසක් ජලයෙන් යටවීම අවිදිමත් ඉදිකිරීම් සහ අනවසර පදිංචි කිරීම් මෙන්ම අවිධිමත් ලෙස කුණු කසළ බැහැර කිරීමට හේතුව බවය.
මේ හේතුවෙන් මෙම කටයුතු නැවත නිවැරදි කර කාණු පද්ධති පිළිසකර කිරීම සඳහා ජනතා සහයෝගයද අත්‍යවශ්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"කොළඹ නගර සභාව සීමාව තුළ ජලය බැස යන කාණු පද්ධතියේ සහ මේ ඇළ මාර්ගවල සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 469ක්. 2014 ඉඳලා මේ වන තෙක් කරන ලද ප්‍රතිසංස්කරණවල, අලුත්වැඩියාවල මේ මැදිහත්වීම්වලින් මේ 469න් කිලෝමීටර් 20ක පමණ දුර ප්‍රමාණයක පැයකට මිලිමීටර් 102ක වර්ෂාපතනයකදි ජලය බැස යාමට අවශ්‍ය කරන ලෙස සකස් කරලා තියෙනවා. ඒ නිසා සමහර තැන්වල මීට වසරවල ජලය බැස යාමට ප්‍රමාද වෙච්ච, අඩු වර්ෂාපතනයක් ඇවිල්ලත් දවස් දෙක තුන වතුර රැඳිලා තිබුණ තැන්වල වතුර නොරැඳෙන්නත් හේතුවුණේ මේ කිලෝමීටර් 400ක් නෙමෙයි කිලෝමීටර් 20ක් පමණක් ඒ ප්‍රමාණයට නවීකරණය කරලා තිබුණ නිසා. තව ගොඩක් දුර මේක කරන්නට අවශ්‍යයි. ඒ කටයුතු දෙකම මේකට බලපාලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික රෝහල් පරිශ්‍රයේ ජල ගැලීම් තත්ත්වයක් ආවා, කොළඹ නගර සභාව නොරිස් කැනල් එක සුද්ධ කරගෙන යනවා එතන තවමත් ගෙවල් 8ක් තියෙනවා පදිංචිය ඉවත් කරගන්න බැරිව. ඒ අයට මිලියන 11ක වන්දියක් ගෙවන්න හැදුවත් තාමත් ඒ කටයුතු කරගන්න බැරිවෙලා තියෙනවා. පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. මීට කලින් වාර්තා කරපු හැම එකක්ම පැය 24කට තමයි වාර්තා වෙලා තියෙන්නේ. පැය 2ක් තුළදි මිලිමීටර් 130-150ක වර්ෂාපතනයක් ලැබිලා තියෙද්දි ඒ ප්‍රමාණය තමයි මේකට හේතුව වෙලා තිබුණේ."
කොළඹ නගර සභාව වගකීම භාර ගන්නේ නැද්ද ?
“මේක අවුරුදු දෙකහමාරක තුනක පමණ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම මේ වගේ තැනක ජලය බැස යාමේ ක්‍රියාවලිය 100%ක්ම හරියාකාරව සිදුවීමේ පද්ධතියක් නෙමෙයි පවතින්නේ. එකක් මේ ජලය බැස යාමට පවතින පද්ධතියේ පැරණිකමත් මේකට බලපානවා. සහ වැඩිපුර ජනතාව ජීවත්වීම, අවිදිමත් පදිංචිකිරීම් ඒ වගේම අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ගියාම ඇතිවන සමාජ ගැටලු ගණනාවක් පවතිනවා. ඒ ගැටලු අතරෙත් නගරසභාව කරපු වැඩ ප්‍රමාණයක් තියෙනවා. එකක් මේ මිලිමීටර් 130-150ක වර්ෂාපතනයක් පැයක එකහමාරක කාලයක් ඇතුළත ලැබීම විසින් කාණු පද්ධතිය උතුරා ගිහිල්ලා සමහර තැන්වල කුණු දාන තැන්වල තිබුණ කුණුත් කාණුවලට එකතු වෙලා මේ අවහිර වීම් සිදුවෙලා තියෙනවා. කොළඹ නගර සභාව විතරක් නෙමෙයි විවිධ ආයතන එකතු කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයත් මැදිහත් වෙලා වේගවත් වැඩපිළිවෙලක් දියත් කරමින් පවතිනවා. ඒ නිලධාරීන්ටත් වගකීමක් තියෙනවා මේ තිබුණ තත්ත්වෙත් තේරුම් අරගෙන කඩිනමින් කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ජනතාවටත් වගකීමක් තියෙනවා කාණුවලට නොදිරන ද්‍රව්‍ය බැහැර නොකිරීමට මහන්සි වෙන්න ඕනේ. කොළඹ වගේ තැනකදි ජනතාවගේ සහාය නැතිව මේ වැඩේ කරන්න බෑ.”
















































