
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (OBST) මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය සහ මූල්‍ය කාර්ය සාධනය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශ්‍රාමික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ගාල්ල, පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්‌ණයේ සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවේදී හඳුනාගත් කරුණු සම්බන්ධයෙනි.
වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන විදේශීය පෞද්ගලික සාගරික ආරක්‍ෂක සමාගම්වලට (PMSCs) අයත් අවිආයුධ සහ මෙහෙයුම් උපකරණ ගබඩා කර තබනු ලබන්නේ මෙම පරිශ්‍රයේය.
එම නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය වූ ගැටලු සහ ඒවාට ගත යුතු විසඳුම්, OBST මෙහෙයුම්වල වත්මන් මෙහෙයුම් හා මූල්‍ය ප්‍රගතිය මෙන්ම එම මෙහෙයුම් මඟින් රටට ලැබෙන ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙම මෙහෙයුම් අඛණ්ඩව, විධිමත්ව සහ කාර්‌යක්ෂමව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නිසි මෙහෙයුම් හා මූල්‍ය කළමනාකරණය හරහා අපේක්‍ෂිත ප්‍රතිඵල ළඟාකර ගැනීමේදී සියලු කටයුතුවල පාරදෘශ්‍යභාවය සහ වගවීම උපරිම මට්ටමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.
















































