
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
එමෙන්ම බුද්ධිමය දේපළ වැරදිවලට අදාළව තිබෙන ප්‍රකාශන අයිතිය (copy. Right )අයිතිය පිළිබඳ වැරදි පමණක් එම පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ප්‍රකාශ කළේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විසි හයක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මෙම පනත් කෙටුම්පතට අදාළව පෙත්සංකරුවන් විසින් ඉදිරිපත් කළ සංශෝධන සලකාබැලීම සිදුවුණා. ඒවා අදාළ අමාත්‍යංශ වෙත යොමු කර කරුණු සාකච්ඡා කළා.එහිදී සංශෝධන කීපයක් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට එකඟතාවය ඇතිවුණා. ඒ යටතේ අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වගේම අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රකාශන හිමිකම් සම්බන්ධ වැරදි ඉවත් කිරීමටත් එකඟතාවය පළ වුණා. ඊට අමතරව මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම රඳවා ගැනීම සහ රැඳවුම් නියෝග ලබා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සිදුකළ හැකි සංශෝධන ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා." යනුවෙන් කියා සිටියේය.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ජනාධිපතිවරයා පවා මෙම පනත් කෙටුම්පතට සංශෝධන සිදුකළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව පෙන්වා දුනි.
තවත් පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කාර පාර්ශවය දැනුවත් කිරීමෙන් පසුව වැඩිදුර කරුණු සලකාබැලීම සුදුසු බවය.
ඒ අවස්ථාවේදී සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් තමාගේ ද අවධානය යොමු ව ඇති බවය.
ඒ පිළිබඳව තමන් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව මෙම පෙත්සම් විභාග කිරීම අධිකරණය විසින් පැයක් කාලයක් කල් තබා තිබෙන අතර ඉන් පසුව නීතිපතිවරයාගේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
















































