
කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස පහක් එනම් උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ ආවරණය වන පරිදි ජල බැසයාමට බාධා පවතින ස්ථාන 60ක් හඳුනාගෙන ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ, ජල ගැලීම් අවදානම ඉහළ සහ දැඩි අවහිරතා පවතින ස්ථාන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් අද (08) දිනයේ සිටම අවහිරතා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.
කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවන හදිසි ජල ගැලීම් පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් අද (08) ආරම්භ කර ඇත.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබුණි.
ඒ අනුව, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත, බම්බලපිටිය හෙයිග් පාර, වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර, කුරේ නාගරික නිවාස යෝජනා ක්‍රම පරිශ්‍රය, කිරුළපන ස්ටැෆර්ඩ් පාර සහ ඊට සමාන්තරව පිහිටි කිරුළපන ඇළ මාර්ගය, බේස්ලයින් ප්‍රධාන මාර්ගය ආශ්‍රිත හීන් ඇළ, දෙමටගොඩ ආරාම පාර, මැද කොළඹ නිව් බසාර් ප්‍රදේශය මෙන්ම ඩිමෙල් වත්ත සහ පැරඩයිස් පාර ඇතුළු ස්ථාන රැසක් ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක් කරමින් ජලාපවහන පද්ධති යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
පසුගිය නොවැම්බර් 06 වැනිදා පස්වරුවේ කොළඹට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටකොටුව, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමත් සමඟ මෙම ගැටලුව යළිත් මතුවිය. දිර්ඝ කාලයක් තිස්සේ ජලාපවහන පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, අනවසර ඉදිකිරීම්, අවිධිමත් නාගරික සංවර්ධන කටයුතු සහ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොපැවතීම මෙයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයට හදිසි විසඳුම් ලබාදීමට පමණක් නොව, ඉදිරියේදී ස්ථිරසාර විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන එකතුවී දායකත්වය සපයයි.
















































