
අධිකරණ නියෝගය නොතකමින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල දෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටින කස්සප හිමි ප්රමුඛ භික්ෂූන්වහන්සේගෙන් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද (08) පස්වරුවේ ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුකර තිබේ.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පවසන්නේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය හකුළාගන්නා තුරු සත්‍යග්‍රහයේ නිරතවන බවයි.
සත්‍යග්‍රහය අද දෙවැනි දිනටත් අනුරාධපුර දන්සල් භූමියේදී ක්‍රියාත්මක වේ.
අද පෙරවරුවේ ද අධිකරණ නියෝගය සිහිපත් කිරීම සඳහා එහි පැමිණි පොලීසියට භික්ෂූන්වහන්සේගේ විරෝධය එල්ලවිය.
යෝජිත අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිසක් ඊයේ (07) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කළාය.
භික්ෂූන් වහන්සේ සමඟ සිටි පුද්ගලයෙක් සහ එම භූමියේ අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් අතර ඇතිවූ බහින්බස් වීම පාලනය කිරීම සඳහා පොලීසිය මැදිහත් වීමත් සමඟ එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
කෙසේවෙතත් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව , පූජා භූමි ප්‍රදේශයෙන් පිටවී යා යුතු බවට දැක්වෙන අධිකරණ නියෝගය සත්‍යග්‍රහයේ නිරත හිමිවරුන්ට ඉදිරිපත් කළත් උන්වහන්සේ ඉන් පිටතට වැඩම කළේ නැත.
දිගින් දිගටම එම ස්ථානයේ රැඳී සිටි ස්වාමීන් වහන්සේට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍ය පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි එහි වැඩම කළහ.
යෝජිත අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව මහජන අත්සන් ලබාගැනීමක්ද අද එහි සිදුවිය.
මේ අතරවාරයේ කොළ අතු රැගෙන පැමිණි පුද්ගලයෙක් නිසා අද එහි යළිත් නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
















































