
මුලතිව් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටියදී ආපදාවට පත් වූ ධීවරයෙකු ආරක්ෂිතව බේරාගෙන ත්‍රිකුණාමලය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් 'ජය සාගර' නෞකාව (SLCGS Jayesagara) සමත්වී තිබේ.
මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි මෙම ධීවරයා ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙලෙස අනතුරකට මුහුණපා ඇත.
වෙනත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මගින් මුදවාගෙන සිටි මෙම ධීවරයා පිළිබඳව ලද තොරතුරකට අනුව, ත්‍රිකුණාමලය වරායේ සිට නාවික සැතපුම් 240ක් පමණ දුරින් පිහිටි අදාළ මුහුදු ප්‍රදේශය වෙත 'ජය සාගර' නෞකාව කඩිනමින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව, ඊයේ(07) පෙරවරු 05:50ට පමණ අදාළ ධීවරයා නෞකාව භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
නෞකාව වෙත රැගෙනයාමෙන් අනතුරුව, ධීවරයාට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ගමන පුරා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීමටත් නෞකාවේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.
පසුව, අද (08) ත්‍රිකුණාමලය වරාය වෙත ළඟා වූ නෞකාව මගින් එම ධීවරයා ගොඩබිමට රැගෙන විත් ඇති අතර, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු ත්‍රිකුණාමලය නාවික රෝහල වෙත භාර දී තිබේ.
















































