
අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ අද (06) පස්වරුවේ කොළඹට මිලිමීටර 129ක, මතුගමට මිලිමීටර 95ක, බදුරලියට මිලිමීටර් 84ක ආදි ලෙස වර්ෂාපතන වාර්තා විය.
මෙම වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක ජල ගැලීම් මෙන්ම කොළඹ ඇතුළු මාර්ග රැසක් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද හටගත් බව අද දෙරණ වාර්තාකරුවෝ සඳහන් කළහ.
ඒ අනුව කොල්ලුපිටිය සිට ගාලු පාර ප්‍රදේශ මෙන්ම බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි.
එමෙන්ම නාවලපිටිය නගරය ද ජලයෙන් යට වී ඇති අතර එහිදී නාවලපිටිය බස්නැවතුම්පොළ, ඇතුළු නාවලපිටිය - නුවර ප්‍රධාන මාර්ගය, නාවලපිටිය නගරසේ සිට කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ.
තවද අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
පවතින තත්ත්වය හේතුවෙන් හැකි සෑම විටම ප්‍රවේශම් වන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර කොළඹ නගරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ධාවනය ද අද පස්වරුවේ ප්‍රමාද විය.
වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක රැසකට අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන ලදී.














































