
බලයට පැමිණීමට පෙර පාසල් උපකරණ, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති වැට් (VAT) බද්ද ඉවත් කරන බවට පොරොන්දු වුවද, වර්තමාන ආණ්ඩුවට තවමත් එය ඉටු කර ගැනීමට හැකි වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. වී. චානක සහ චානක මාදුගොඩ යන මහත්වරුන් සමඟ අද (05) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවක් අතරතුර දී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ කාලය තුළ ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා ගිහින්. මේ මාසය තුළත් එය වැඩිවෙමින් පවතී."
"පසුගිය කාලේ ජනාධිපතිතුමා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කළේ නෑ කියලා, කිසිම අලුත් බදු ප්‍රමාණයක් ගැහුවේ නෑ කියලා. නමුත් බලයට එනකොට කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට සහ අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි ඒක අයින් කළේ නෑ. ඒ වෙනුවට අහිංසක මිනිස්සුන්ගේ බැංකු ගිණුම්වල පොලියට වැට් එක දැම්මා, වාහනවල බදු වැඩි කළා. තව තොරතුරු තාක්ෂණ (IT) අංශයට සහ උපදේශන සේවාවලටත් (Consultancy) බදු ගැහුවා."
"පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි ආණ්ඩුව කරේ මොකක්ද? IT අංශයේ ආණ්ඩුවෙන් කිසිදු සහයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් බද්ද ගැහීමයි"



















































