
කාන්තා නායකත්වය යනු තවදුරටත් හුදෙක් සමානාත්මතාව ළඟාකර ගැනීම පිළිබඳ ඉලක්කයක් පමණක් නොව, ඉන් එහා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ ඊයේ(02) ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරයේදී “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සමෘද්ධිමත් හා ඔරොත්තුදීමේ හැකියාවෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයක් සඳහා වන ආයෝජනය”යන තේමාව යටතේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයේ පළමු සභා වාරයේ සමාරම්භක සැසිය අමතමිනි.
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය බිසව කැමිලා පාකර් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්, සම්භාවනීය අමුත්තන් සහ නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැසිය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,
“භූ දේශපාලනික අස්ථාවරත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය, තාක්ෂණය හරහා සිදුවන අපයෝජන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. ගෝලීය දකුණේ රටවල අත්දැකීම් අනුව සාමූහික ප්‍රවේශයක් මේ සඳහා අවශ්‍ය බව ඉතා පැහැදිලියි. ඒ වගේම කාන්තාවන් බලය, ප්රාග්ධනය සහ ආරක්ෂාව ලබා ගැනීමේදී ඇති බාධාකාරී ව්‍යුහාත්මක ක්‍රමවේදයන් ඉවත් කිරීමත් අත්‍යවශ්‍යයි.”
විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි දූපත් රාජ්‍යයන්හි කාන්තාවන්ට දේශගුණික විපර්යාස නිසා ඇතිවන බලපෑම් පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, කාන්තාවන්ට දේශගුණික යුක්තිය තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.
එසේම, ප්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් සඳහා ණය බරක් ඇති නොවන සෘජු දේශගුණික මූල්‍ය ආයෝජන ලබාදීමේ අවශ්‍යතාවද ඇය පෙන්වා දුන්නාය.
කාන්තාවන් වෙනුවෙන් සැබෑ සමානාත්මතාව ළඟා කරගත හැක්කේ කඩින් කඩ සිදුකරන ප්‍රතිපත්ති සංශෝධන මගින් නොවන බවත්, ඒ සඳහා සමස්ත සමාජයම එකතු වී රජයන්, සිවිල් සමාජය, පෞද්ගලික අංශය මෙන්ම පුරුෂ පාර්ශ්වයද සක්‍රීය සහකරුවන් ලෙස එක් කරගනිමින් ශක්තිමත් සහ නොසැලෙන සන්ධානයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් ඇය පැවසීය.
මේ අතර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉදිරියට ගෙන යාමට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සාමූහික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් 14 වන පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සිය රජය සූදානමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
එලෙසම දැනට පවතින ප්‍රතිඥා සහ කැපවීම් අර්ථවත් ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරමින් සෑම කාන්තාවකටම සහ ගැහැනු දරුවෙකුටම සමෘද්ධිය, ස්වාධීනත්වය සහ ඔරොත්තුදීමේ හැකියාව තහවුරු කිරීමට එක්වන ලෙස ඇය සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියාය.



















































