
හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් 4ක් හා සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් තහනම් කර තිබේ.
ඒ පිළිබඳව දැනුම්දීමට අවස්ථා කිහිපයකකදීම ඔහුගේ රාජගිරියේ නිවස වෙත ගියද ඔහු එහි නොසිටි බවයි එම කොමිසමේ ආරංචිමාර්ග පැවසුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන "හරක් කටා" නමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අනතුරුව ඔවුන් කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප මුදාහැරි අතර ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළේය.
ඒ ඔවුන් අල්ලස් ලෙස ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල සොයාගැනීමට නොහැකි වීම හේතුවෙනි.
ඒ අනුව රඛිත රාජපක්ෂට අයත් බව කියන බැංකු ගිණුම් 4ක් හා සුපිරි මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් තහනම් කර තිබේ
අදාළ බැංකු ගිණුම් වල රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබී ඇති බව එම කොමිසමේ ආරංචිමාර්ග පැවසීය.
මෙම තහනම පිළිබඳ වාචිකව දැනුම්වත් කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම විමර්ශන නිලධාරීන් රඛිත රාජපක්ෂ මහතා පදිංචි රාජගිරියේ පිහිටි නිවාස සංකීර්ණය වෙත ගියද ඔහු එහි සිට නොමැත.
අනතුරුව ඔහුගේ බිරිඳට අදාළ දැනුම්දීම සිදුකළ බව අල්ලස් කොමිසම පැවසීය.



















































