
කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීම හේතුවෙන් රුපියල් 8,442,091ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) දී අනාවරණය වී තිබේ.
2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා මෙන්ම විශ්වවිද්යාලයේ වර්තමාන කාර්යසාධනය සහ මෙහෙයුම් කටයුතු සමාලෝචනය කිරීම සඳහා එම විශ්වවිද්යාලයේ පාලනාධිකාරිය පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ COPE කමිටුව හමුවට කැඳවා තිබිණි.
එම රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙනි.
2022 සහ 2023 වර්ෂවල සිදුවූ බව කියන තඹ පටි සොරකම් සම්බන්ධයෙන් සිවිල් කොන්ත්රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටි ප්රමාණය සහ පොලිසිය විසින් සොයාගත් ප්රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම්වල පරස්පරතා පිළිබඳව ද කාරක සභාව කරුණු විමසා තිබේ.
රෝහලේ දේපළ කළමනාකරණය සහ අභ්යන්තර පාලන ක්රමවේදවල පැවති දුර්වලතා ද කාරක සභාවේ අවධානයට ලක්විය. රෝහල ආරම්භයේ සිට දේපළ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිලධාරීන්ට නිසි පරිදි පවරා නොතිබීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම ඒ අතර වේ.
සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව ප්රශ්න කර ඇති අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්රමිතීන් සහ ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේද යන්න පිළිබඳව විමසා තිබේ.
මේ අතර, ඇඳන් 800කට අධික ධාරිතාවක් සහිත රෝහලේ ඇතැම් වාට්ටු, ශල්යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම වෛද්යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
රෝහල රජයේ රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගෙන අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්රවණාගාර ඉදිකිරීමේ ව්යාපෘතියේ දිගුකාලීන ප්රමාදය සහ විශ්වවිද්යාලයට අනුබද්ධ පුද්ගලික ආයතනයක සමාගමේ මූල්ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ ද මෙහිදී අවධානයට ලක්ව තිබේ.
විශ්වවිද්යාලයේ පාලන ව්යුහය විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පරිපාලන ගැටලු නිරාකරණය කිරීම සඳහා දැනට පවතින විශ්වවිද්යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබාදීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්යාලයේ මූල්ය හා පරිපාලන පාලන ක්රමවේද ශක්තිමත් කිරීම තුළින් රාජ්ය සම්පත් ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර තිබේ.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ සහ වෛද්ය එස්. ශ්රී බවානන්දරාජා ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් ද ත්රිවිධ හමුදාපතිවරුන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ නිලධාරීන් ද සහභාගි වී සිටියහ.



















































