
පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැඳවූ ස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව දුම්රිය කළමනාකරුවෙකු ගත් වැරදි තීරණයක් බව එරට ප්රවාහන අමාත්යවරයා පවසයි.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ සෙවිල් නගර අතර ධාවනය වන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් එරට උර්ඩා ප්රදේශයේ ඊයේ (28) සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිය ගණනක් තුවාල ලැබීය.
වේගයෙන් ධාවනය වූ මගී ප්රවාහන දුම්රියක් එම මාර්ගයේ නවතා තිබූ තවත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
සිද්ධිය පිළිබඳව මාධ්ය දැනුම්වත් කරමින් ස්පාඤ්ඤ ප්රවාහන අමාත්යවරයා පැවසුවේ පරිගණක පද්ධති දෝෂයක් සහ ඊට සමගාමීව සිදුවූ මිනිස් දෝෂයක් මේ අනතුරට හේතුවූ බවය.
අනතුර සිදුවීමට කෙටි වේලාවකට පෙර දුම්රිය මාර්ග සංඥා පද්ධතියේ පරිගණක දෝෂයක් හටගෙන ඇති අතර, ඒ සමඟම සියලුම දුම්රිය පවතින ස්ථානවලම නවතා තබන ලෙස නියෝග කර තිබේ.
එම අවස්ථාවේදී පද්ධතියේ පාලනය භාරගත් දුම්රිය කළමනාකරුවෙකු, රෙන්ෆේ අධිවේගී දුම්රියට වේග සීමාවකින් තොරව ගමනාන්තය දක්වා ධාවනය කිරීමට අවසර ලබාදී ඇති බව සඳහන් වේ.
අනතුරට ලක්වූ අනෙක් දුම්රිය වන ඉර්යෝ දුම්රිය ඒ වන විටත් එම මාර්ගයේ නවතා තිබී ඇති අතර, වේගයෙන් පැමිණි රෙන්ෆේ දුම්රිය එහි ගැටී ඇති බව වාර්තා වේ.
උර්ඩා ප්රදේශයේ සිදුවූ මෙම අනතුර වසර 13කට පසු ස්පාඤ්ඤයේ සිදුවූ බරපතළම දුම්රිය අනතුර ලෙස සැලකේ.
මේ අතර, දුම්රිය අනතුරේ වගකීම භාරගෙන ප්රවාහන අමාත්යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මැඩ්රිඩ් නුවර ප්රවාහන අමාත්යාංශය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්විණි.



















































