
රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන නව පනත ගෙන එනු ලබන්නේ රට ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමට සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ ප්රධාන අරමුණින් බව කැබිනට් ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී, අදාළ පනත සම්බන්ධයෙන් මාධ්යවේදීන් නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
කොණ්ඩය වවා තිබීම හෝ ශරීරයේ පච්චා සලකුණු කර තිබීම වැනි කරුණු පනතට ඇතුළත් කර ඇත්තේ සාමාන්ය පුරවැසියන් ඉලක්ක කරගෙන නොව, සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා බවද අමාත්යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම මෙම පනත මගින් සංවිධානාත්මක අපරාධවලට සහය දක්වන, ආධාර හා අනුබල දෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්රියාත්මක කිරීමට ප්රතිපාදන සැලසෙන බවද සඳහන් කළේය.
එමෙන්ම රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත රටට අවශ්ය බවත් පැවසූ අමාත්යවරයා ත්රස්තවාදය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බලතල සහිතව මෙම පනත ක්රියාත්මක වන බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
"සංවිධානාත්මක අපරාධ කල්ලියක් සහ මේ තුන් හතර දෙනෙක් එකතු වෙලා කරන සාකච්ඡාවක් ගැන හඳුනා ගන්න බැරිනම් ඒ පොලිසිය, අධිකරණය, නීතියෙන් වැඩක් නෑනේ. ඒ නිසා මේ හදලා තියෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින්, ඒ අයට අනුබල දෙන අය, ඒ අයට මූල්ය අනුග්රහය ලබා දෙන අය දැනුවත්ව ඒ අයට පහසුකම් සපයන අයට නීතිය ක්රියාත්මක කරන එක. ඒකට කවුරුත් බය වෙන්න ඕන නෑ. සංවිධානාත්මක අපරාධයක් ගැන නොදැන කටයුතු කිරීම සම්බන්ධයෙන් කවුරුත් බය වෙන්න ඕනේ නෑ. මේක පැහැදිලිවම සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳව. ඔය පච්ච කොටපු, කොණ්ඩේ වවපු ඔබ ඔය පැහැදිලිව හොඳට කියවලා බලන්න ඒ ලියලා තියෙන්නේ සාමාන්ය කට්ටියට නෙමෙයි ඒ ලියලා තියෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ අයට. ඒ අය හඳුනා ගැනීමේ ක්රියාවලියක් මිසක් එහෙම නැතිව මිසක් සංවිධානාත්මක අපරාධකරු කියලා දැන් කවුරුහරි අත්අඩංගුවට ගන්නවාද නිකං අය? එහෙම වෙන්නේ නෑනේ. මේ පනතෙන් ශක්තිමත් කරන්නේ සංවිධානාත්මක අපරාධවලට අනුබල දෙන, ආධාර දෙන සහ ඒ වෙනුවෙන් සක්රීව ඒ වෙනුවෙන් යෙදී ඉන්න අය.
අනිත් එක ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත කියන්නේ ඇත්තටම ඒක අවශ්යයි. ත්රස්තවාද කියන එක ලෝකේ රටවල් අනුව වෙනස් වෙනවා. ලෝකේ එක රටක ත්රස්තවාදියා කියන්නේ මේකයි කියලා නිර්වචනයක් නෑ. ලෝකේ පිළිගත්ත නිර්වචනයන් තියෙනවා. ඒත් ඒ අත්අඩංගුවට ගන්න පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණවීම සඳහා වෙච්ච බලතල සහිතව තමයි මේ පනත් දෙක ක්රියාත්මක වෙන්නේ. අපේ පොරොන්දුව තිබුණේ ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම. එය අහෝසි කරලා රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමටත් ඒ වගේම මේ හැමතැනම වර්ධනය වෙලා තියෙන සංවිධානාත්මක අපරාධ මර්දනය කර ගැනීමටත් තමයි මේ පනත් දෙක ගේන්නේ. මේ පනත් දෙකට නීතිය ඉස්සරාහ ඉඩක් තියෙනවා නීතිය කියාවි මේදෙක මානව හිමිකම්වලට ගැලපෙන්නේ නෑ කියලා. ඒ අනුව අධිකරණය ලබා දෙන තීන්දුව අනුව පාර්ලිමේන්තුව කටයුතු කරන්න සූදානම්. කෙසේ නමුත් මේ දෙක නැත්නම් ගේන්න වෙන්නේ PTA එක තමයි."



















































