
කථානායක ජගත් වික්රමරත්න මහතාට එල්ල වී ඇති පෞද්ගලික විෂමාචාර චෝදනා මත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව, චෝදනාවට ලක්වූ කථානායකවරයාම මුලසුන දරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීම ප්රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදය තුළ විපක්ෂයට ඇති අයිතියට එල්ල කළ බරපතළ පහරක් බව සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්රීවරුන් පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ මාධ්ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, මෙම විශ්වාස භංග යෝජනාව 2026 ඔක්තෝබර් 09 දින පාර්ලිමේන්තුවට භාරදී ඔක්තෝබර් 12 දින න්යාය පුස්තකයට ඇතුළත් කරඇති බවය.
යෝජනාවේ අඩංගු චෝදනා අධිකරණ ක්රියාවලිය සමඟ ඝට්ටනයක් සිදුවේද යන්න නීතිපතිවරයාගෙන් විමසා වාර්තාවක් ලබා ගැනීමට මීට පෙර එකඟ වුවද, පසුව කථානායකවරයාගේ ප්රධානත්වයෙන් ඔක්තෝබර් 23 දින පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ නීතිපතිවරයා විමසා කටයුතු කිරීම අවශ්ය නොවන බවත්, විපක්ෂය විසින් චෝදනා සංශෝධනය කර භාර දෙන්නේ නම් පමණක් ඒ පිළිබඳ කටයුතු කළ හැකි බවත්ය.
විපක්ෂය පෙන්වා දෙන්නේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කථානායකවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන මොහොතක ඔහු එම ධූරයේ කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බවත්, මෙම විශ්වාස භංග යෝජනාව ප්රතික්ෂේප කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු කිසිදු තාර්කික භාවයකට යටත් නොවන බවත්ය.
එමෙන්ම, ආණ්ඩුව පවසන පරිදි මෙම යෝජනාව අධිකරණමය ක්රියාවලියකට යටත් බවට ගෙන එන තර්කයද අසත්යයක් බව නීති විශාරදයින්ගේ මතය බව එම නිවේදනයේ සඳහන් වේ.
කථානායකවරයාට එරෙහිව පවතින බරපතළ චෝදනා ඉවත් කර ගැනීමට ආණ්ඩුව දරන කුමන්ත්රණයට යටත්ව ආණ්ඩුවට අවශ්ය පරිදි චෝදනා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට විපක්ෂය සූදානම් නැති බව අවධාරණය කරන විපක්ෂය, මෙහිදී කළ යුත්තේ කථානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හෝ නොඑසේ නම් තමන්ට එරෙහි චෝදනා 50ට නොබියව මුහුණ දීම බව පෙන්වා දෙයි.
ආණ්ඩුවේ මෙම ඒකපාර්ශ්වික තීන්දුව තුළින් රටේ ප්රජාතන්ත්රවාදයට බරපතළ අනතුරක් සිදුව තිබෙන බැවින් ඒ පිළිබඳව රටේ සියලුම ජනතාවගේ අවධානය යොමු කරන ලෙසද විපක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටී.



















































