
ජපානයේ පැවති පස්වැනි ආසියානු පැරා ක්රීඩා උළෙලට සහභාගී වූ ක්රීඩක ක්රීඩිකාවන් මෙරටට පැමිණ තිබේ.
මෙම තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 24 වැනිදා දක්වා ජපානයේ ආචි–නගෝයා නගරයේදී පැවති අතර ආසියානු කලාපයේ රටවල් 45ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 2,590 දෙනෙක් ඊට සහභාගී වී ඇත.
තරගාවලියේදී පදක්කම් 09ක් දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමට සමස්ත ශ්රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානය හිමිවිය.
එහිදී ජනනි ධනංජනා වික්රමසිංහ සහ ප්රදීප් සෝමසිරි ශ්රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.
එමෙන්ම ජනනි ධනංජනා වික්රමසිංහ, ගලීනා බස්නායක, සමිත දුලාන් සහ නුවන් ඉන්දික රිදී පදක්කම් දිනාගත් අතර, මොහොමඩ් සෆ්රාන්, නවීඩ් රහීම් සහ මධුරංග සුබසිංහ ලෝකඩ පදක්කම් දිනාගෙන තිබේ.
මෙම ක්රීඩක ක්රීඩිකාවන් ඊයේ (26) රාත්රී 11.03ට හොංකොං නුවර සිට කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් CX-611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සඳහා ක්රීඩා අමාත්යාංශයේ සහ ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්, ත්රිවිධ හමුදාවේ හා පොලිසියේ ක්රීඩා අංශවල නිලධාරීන් මෙන්ම ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.



















































