
සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා මහතා හමුවීමට සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් මහතා පියවර ගෙන තිබේ.
ඒ, ඔහුට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීම සඳහා යොමු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුවය.
මෙම සංචාරයේදී අනෝජන් සිවරාසා මහතාගේ ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් තානාපතිවරයා ඔහු සමඟ සාකච්ඡා කර තිබේ.
ඉදිරියේදී සිදුකිරීමට නියමිත අධිකරණ ක්රියාමාර්ග පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සහ ඒ සඳහා අවශ්ය නීතිමය සහාය සැලසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.
එමෙන්ම නඩු විභාගයට අදාළ සියලු කරුණු පවතින නීතිමය ක්රියාවලිය තුළ නිසි පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් ව ඇති බව තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
අනෝජන් සිවරාසා මහතාට අවශ්ය නීතිමය සහ කොන්සියුලර් සහාය අඛණ්ඩව ලබාදීමට ශ්රී ලංකා තානාපති කාර්යාලය කැපවී සිටින බව ද තානාපති අමේර් අජ්වාඩ් මහතා මෙහිදී යළිත් අවධාරණය කර තිබේ.
එමෙන්ම, ඉදිරි නඩු කටයුතු සඳහා අනෝජන් සිවරාසා මහතා, ඔහුගේ නීතිඥවරුන් සහ තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙනයාමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දී ඇත.
තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම ක්රියාවලියේදී අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ක්රියාපටිපාටියට පූර්ණ ගරුත්වය ලබාදෙන බවය.
කෙසේවෙතත් තානාපතිවරයා බන්ධනාගාර බලධාරීන් හමුවී, අනෝජන් සිවරාසා මහතාගේ සුබසාධනය පිළිබඳව දක්වන අඛණ්ඩ සැලකිල්ල සහ ශ්රී ලංකා තානාපති කාර්යාලයට ලබාදෙන සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර තිබේ.



















































